පොඩි කාර් ලියාපදිංචිය 40% කින් පහළට.


පසුගිය සැප්තැම්ර් මාසයේ දී ලියාපදිංචි කර ඇති එංජින් ධාරිතාව 1000cc ට වඩා අඩු වාහන සංඛ්‍යාව 2018 අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 40.5 කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ. JB Securities සමාගම විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන මෙරට මෝටර් රථ ලියාපදිංචි කිරීම් පිළිබඳ සංඛ්‍යා වාර්තාව මගින් මේ බව අනාවරණය කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා මත පදනම්ව ප්‍රකාශයට පත් කරනු ලබන මෙම වාර්තාවට අනුව 2018 අගෝස්තු මාසයේ දී එංජින් ධාරිතාව 1000cc ට වඩා අඩු Brand New මෝටර් වාහන 831 ක් ලියාපදිංචි කර ඇති අතර සැප්තැම්බර් මාසයේ දී මෙම ප්‍රමාණය 494 ක් දක්වා අඩු වී ඇත.

මෙහිදී එංජින් ධාරිතාව 1000cc ට වඩා වැඩි විශාල පරිමාණ කාණ්ඩයේ වාහන ලියාපදිංචිය 21 සිට 13 ක් දක්වා අඩු තිබේ.

කෙසේ වෙතත් එංජින් ධාරිතාව 1000cc සිට 1600cc දක්වා කාණ්ඩයේ මධ්‍ය පරිමාණයේ මෝටර් රථ ලියාපදිංචිය 38 සිට 61 ක් දක්වා සැප්තැම්බර් මාසයේ දී ඉහළ ගොස් තිබේ.

එංජින් ධාරිතාව 1000cc ට අඩු වාහන කාණ්ඩය සැලකීමේ දී Wagon R ලියාපදිංචිය 255 සිට 209 ක් දක්වා ද, Alto ලියාපදිංචිය 150 සිට 67 ක් දක්වා ද, Celerio ලියාපදිංචිය 60 සිට 39 ක් දක්වා ද පහළ ගොස් ඇත.

2018 අගොස්තු 01 දින සිට බලපවත්වන පරිදි එංජින් ධාරිතාව 1000cc ට වඩා අඩු මෝටර් රථ වාහන සඳහා අදාළ ආනයන තීරු බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබීය.

එසේම වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙසින් මූලික වශයෙන් වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් රථවාහන ආනයන සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කටයුතු කරනු ලැබීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment