මෛත්‍රී ජනාධිපති අලි අමාරුවක.
ජනාධිපතිවරයා හෝ ඔහුගේ උපදේශකයන් දුරදිග නොබළා දිගින් දිගටම ගනුලබන තීන්දු තීරණ හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිරූපයට බරපතළ ලෙස හානිකර ගන්නා ස්වභාවයක් පෙන්නුම් කෙරෙන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
එසේම ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ අනවශ්‍ය සහ අතිශෝක්ති ජනක ලෙස වාර්තා කිරීම හරහා ඇතැම් මාධ්‍ය ද එහි කොටස්කරුවන් වී ඇති බවත් එබැවින් ජනාධිපතිවරයා සිය තීන්දු මෙන්ම උපදේශකයන් සහ ඒ මත දියත්වන මාධ්‍ය ප්‍රචාරණ සම්බන්ධවද වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බවත් ඔවුන් අවධාරණය කරයි.
මීට ආසන්නතම නිදර්ශනය ලෙස දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ද අධ්‍යක්ෂ මණ්ඩල ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ලබාදී ඇති උපදෙස් දේශපාලනීකරණය කරමින් ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති ස්වභාවයය.
ඒ බව විශ්ලේෂණය කරමින් දේශපාලන විචාරකයන් සිදුකරන කරුණු දැක්වීම මෙසේය.
මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය දුෂිත නම් එහි සභාපති හේමසිරි ?
මේ වන විට පළකර තිබෙන ප්‍රවෘත්ති වාර්තා අනුව BOI හැර ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ද ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා නියෝගකර තිබෙන්නේ එම ආයතන වෙත එල්ලවී තිබෙන දුෂණ චෝදනා හේතුවෙන්ය. ඒ අනුව මහජන බැංකුව තුළද දුෂණ සිදුව ඇති බව තක්සේරු කර ඇති අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඊට වගකිව යුතු බවද පිළිගන්නට සිදුවේ.
ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියාත් හේමසිරි !
දැන් ප්‍රශ්නය වන්නේ මහජන බැංකුවේ දුෂණ සිදුව ඇත්නම් සහ ඊට අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු බව විශ්වාස කරනවා නම් එහි සභාපති වන හේමසිරි ප්‍රනාන්දුට ද ඒ චෝදනාවේ කොටස්කරුවෙකු බවට පත්වීමය. මන්ද අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපති පොදුවේ අදාළ ආයතනයට වගකිව යුතු නිසාය. දැන් ප්‍රශ්නය වන්නේ ඒ දුෂිත බව කියන මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල ප්‍රධානියා වන හේමසිරි ප්‍රනාන්දු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරමින් සිටීමය.
කෝටි 1000 ක ණය චෝදනාව !
අනෙක් අතට මෙතෙක් මහජන බැංකුව සම්බන්ධව පළවූ පුවතක හෝ ඊට එල්ලවූ කිසිම චෝදනාවක් හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිගෙන නොතිබීමය. නිදසුනක් ලෙස සලකනවා නම් මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුවූ ජෙහාන් අමරතුංග, ඔහු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන තවත් පෞද්ගලික සමාගමකට රුපියල් කෝටි 1000 ක ණය පහසුකමක් සැලසීම සම්බන්ධ චෝදනාව ගත හැක.
එහිදී බැංකුව නිවේදනය කර සිටියේ එය දුෂිත ගනුදෙනුවක් නොව නෛතික ගනුදෙනුවක් බව සඳහන් කරමින්ය.
මහජන බැංකුවේ නිවේදනය !
ඊට අදාළ බැංකු නිවේදනයේ ඉතා පැහැදිළිව ඒ බව මෙසේ සඳහන්ව තිබේ.
"මහජන බැංකුව විසින් රුපියල් බිලියන දහයක ණය මුදල ප්‍රදානය කර ඇත්තේ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමට පමණක් නොව වෝක(ර්)ස් සමාගම් සමුහයට ය. එහෙයින්, බැංකුව විසින් අදාළ ණය මුදල ප්‍රදානය කර ඇත්තේ එම සමාගම් සමුහයට මිස ජෙහාන් අමරතුංග මහතාට නොවේ. ඔහු එහි සමාගම් අධ්‍යක්ෂවරයෙකු පමණි. ඒ අනුව මෙහිදී, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම නීතිය ඉදිරියේ වෙනම නෛතික පුද්ගලයකු ලෙස සැලකෙන අතර එම සමාගම් සමුහය ජෙහාන් අමරතුංග මහතාගෙන් වෙන් කොට සැලකිය යුතුය.
එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම නීතිය ඉදිරියේ වෙනත් නෛතික පුද්ගලයෙකු ලෙස සැළකෙන බැවින් එම සමාගම ජෙහාන් අමරතුංග මහතාගෙන් වෙන් කොට සැලකිය යුතුය. එහෙයින්, මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත කිසියම් ණය මුදලක් ප්‍රදානය කිරීමේ දී, එම සමාගමේ කිසිදු අධ්‍යක්ෂකවරයෙකුගේ ණය ගෙවීමේ හැකියාව සොයා බැලීම බැංකුවට අදාළ කරුණක් නොවේ."
කෝටි දෙකේ අල්ලස : දැව සංස්ථාවත් අයිති ජනාධිපතිගේ අමාත්‍යංශයට !
එපමණක් නොව මීට පෙර රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමට අදාළව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් අතටම හසුවූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ එවකට කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ආචාර්ය අයි එන් කේ මහානාමය. ඔහු සමඟ අත්අඩංගුවට පත්වූ අනෙක් තැනැත්තා එවකට දැව සංස්ථාවේ සභාපති වූ පී දිසානායක ය. දැව සංස්ථාව අයත් වන්නේද ජනාධිපතිවරයාගේ අමාත්‍යංශය යටතටය. දැන් මේ දෙදෙනාම ඇප පිට නිදහස්ව ඇත.
දැව සංස්ථාවට අනුරුද්ධ පොල්ගම්පොළ පත්කිරීම !
නමුත් පසුව දැව සංස්ථාවට ජනාධිපතිවරයා විසින්ම පත්කළ සභාපතිවරයා වුයේ අනුරුද්ධ පොල්ගම්පළ ය. 2018 මැයි මස 04 හෝ ඊට ආසන්න දිනයකදී එම පත්වීම සිදුකළත් ඔහු ඒ වන විටත් සිටියේ ලක්ෂ 75 ක මුදල් වංචාවක් සහ අගරු චෙක්පත් ලබාදීම සම්බන්ධව චෝදනා ලැබුවකු ලෙසින්ය. එසේම 2017 ජූලි 15 වනදා ඔහුව මේ චෝදනා සම්බන්ධව පොලිස් අත්අඩංගුවටද ගෙන තිබිණ. එනම් මුල්‍ය වංචාවකට චෝදනා ලබා ඇප පිට සිටින අයෙකු අත්අඩංගුවට ගෙන වසරක් ඉක්මයන්නට පෙර ජනාධිපතිවරයා තමන් යටතේම වූ සංස්ථාවක සභාපති ධූරයක් ලබාදී ඇති බවය.
හැරෙන තැපෑලෙන් අනුරුද්ධ පොල්ගම්පළව එම තනතුරෙන් ඉවත් කරන්නට සහ ඒ වෙනුවට ශාන්ත බණ්ඩාර මහතා ඊට පත්කරන්නට සිදුවූයේ ද ජනතා විමුක්ති පෙරමුණ විසින් පොල්ගම්පළ ට එම තනතුර ලබාදීම ගැන පලකළ දැඩි විරෝධය නිසාය.
රෝ ඝාතන තැත !
රෝ සංවිධානය තමන්ව ඝාතනය කරන්නට සිටින බවට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය හමුවේ සිදුකළ බව කියන ප්‍රකාශයද මේ සියල්ලට දෙවැනි නැත. එය රට තුළ කොහොම නිවැරදි කරන්නට උත්සාහ ගත්තත් හින්දු පුවත්පත දක්වා පුවත ගමන් කළෙන් පෙරලා හානිය සිදුවන්නේ ජනාධිපති මෛත්‍රීට ය.
මේ හමුවේ පෙනෙන්නට ඇති පැහැදිළි කරුණක් ඇත. ඒ මෛත්‍රී ජනාධිපතිට මේ වන විට සිය ජනවරම ලැබුණු මුලික පදනම අමතකවී ඇති බවය. 2015 ජනවරම සිහිකර දැනට නොකළ යුත්තේ කුමක්ද යන්න ජනාධිපති දැන්වත් හරියට තෝරා බේරාගත යුතුව ඇත. ඒ කළ යුත්තේ කුමක්ද යන්න සැළකීමට මතුව ඇති දේශපාලන පසුබිමේ ඉඩකඩ සීමිතව ඇති නිසාය.

0 comments :
Post a Comment