නව ආරක්ෂක ලේකම් : හේමසිරි ද? ඉලංගකෝන් ද?


ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට අලුතින් පුද්ගලයකු පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවත් ඒ සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නම යෝජනා වී ඇති බවත් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මේ අතර එම තනතුර සඳහා හිටපු පොලිස්පතිවරයෙකු වන එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කිරීමේ සුදානමක් ඇතැයි ද වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු පොලිස්පතිවරයෙකු වන එන්.කේ. ඉලංගකෝන් මහතා පසුගියදා කැඳවා ඔහු සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් පවත්වා තිබීම ඊට හේතුවයි.

කෙසේවුවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මතුව ඇති විවේචන සහ අර්බුද පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා එම සාකච්ඡාවට එක්ව තිබෙන බවත් දෙදෙනා අතර පැය දෙකකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවති බවත් වාර්තාවේ.

පොලිස් කොමිසම :

මේ අතර ජාතික පොලිස් කොමිසමේ නිල කාලය ඊයේ (15) දිනයෙන් අවසන් විය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 E වගන්තියට අනුව එහි නව නිලධාරී මණ්ඩලය පත් කරන තෙක් වත්මන් නිලධාරී මණ්ඩලයට එහි කටයුතු සිදුකළ හැකියි.

මේ වනවිට පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නීතිඥ පී. එච්. මනතුංග මහතය.

මේ අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරද සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා පවත්වා ඇත. ඒ, පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment