පොහොට්ටුව තනිව එයි : සිරිසේන හාන්සියි.


මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන මහ මැතිවරණය සඳහා තනිව තරග කිරීමේ දැඩි තීරණයක සිටින බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම සන්ධානයක් වෙනුවෙන් තම පාර්ශවයට ඉල්ලීම් ඉදිරිපත් කරන නමුත් පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතරයක් සන්ධාන යෝජනාවට විරුද්ධව සිටින බැවින් එම ඉල්ලීම සළකා බැලීම පවා දුෂ්කරව තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි මැතිවරණය සදහා තරග කරන බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා ඇති අතර එම පක්‍ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඊයේ (10) දිනයේ මේ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

වැඩිදුරටත් වාර්තා වන්නේ  බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය මාස තුනකට ආසන්න කාලයේ සිට හදීසි මහ මැතිවරණයක් වෙනුවෙන් පක්ෂය සූදානම් කිරීමට මැදිහත්වූ බවත් ඔක්තෝබර් 26 ආණ්ඩු කුමන්ත්‍රණය සිදුවූ අවස්ථාවේ පවා එම තීන්දුවේ කිසිඳු වෙනසක් නොවන බව දැනුම්දී තිබූ බවයි.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට පොහොට්ටුවේ නාමයෝජනා ලබාදීමට ගියහොත් එය පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය කරන්නක් වන බවත් එම පක්ෂයේ අදහස වී තිබේ.

බැසිල්ගේ උපදේශකයින්ගේ මතය මෙන්න ! 

මේ සම්බන්ධව වැඩිදුරටත් ලැබී ඇති තොරතුරු වල සඳහන් වන්නේ පොදුජන පෙරමුණ නාම යෝජනා ලැයිස්තු වල  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාවක් ලබා නොදිය යුතු බවට බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයන් ලෙස කටයුතු කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිහිපදෙනාද දැඩි ස්ථාවරයක සිට කරුණු දක්වා ඇති බවය. 

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ එළඹෙන මැතිවරණයකදී එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ යන ප්‍රධාන පක්ෂ අතර දකුණේ (උතුර හැර) ජන්ද බෙදීයාමේ ප්‍රවණතාව සැලකිල්ලට ගෙන මේ ගැන වන අවසන් තීන්දුව ගත යුතු බවය.  ඒ අනුව පොදුජන පෙරමුණ ලයිස්තුවේ ශ්‍රීලනිප අපේක්ෂකයන් ඇතුළත් කර එක සන්ධානයක් බිහිකිරීම තුළ එය විවේචනය කිරීමේ වැඩි ඉඩක් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු විරුද්ධ පාක්ෂිකයන්ට ලැබෙන බවත් එය සමස්ථ ප්‍රතිඵලයට අවාසි බවත් ඔවුන් පෙන්වාදී ඇත. එමෙන්ම ශ්‍රීලනිප ජන්ද පදනම දුර්වලව ඇති බැවින් ඔවුන් මේ මොහොතේ බරපතල ලෙස නොගත යුතු බවත් එක්සත් ජාතික පෙරමුණට සහ පොදුජන පෙරමුණට නොලැබෙන ජන්ද ජවිපෙ සහ ශ්‍රීලනිප අතර බෙදීයාම තුළ ශ්‍රීලනිප ජන්ද ප්‍රතිශතය 5%කට අඩුවන බවද ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

වැඩිදුරටත් ඔවුන් පෙන්වාදී ඇත්තේ දුර්වලව සිටින පක්ෂයක් පොදුජන පෙරමුණ ලැයිස්තුවට ඇතුලත් කර ගැනීම හමුවේ අනවශ්‍ය ආකාරයට ශ්‍රීලනිපය ශක්තිමත් විය හැකි බවත් එයින් ජනාධිපතිවරයාට අනවශ්‍ය බලයක් හිමිවීමේ අවධානමක්ද පවතින බවය. එසේම 2020 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු සම්බන්ධව අවධානය යොමුකළ යුතු බවත් මේ වන විට සිරිසේන ජනාධිපතිගේ ක්‍රියාකලාපය හමුවේ පොදුජන පෙරමුණ ආණ්ඩුවක් වුවද යළි විසුරවීමේ අවධානමක් පවතින බැවින් ඒ අනවශ්‍ය අවධානමක් ගැනීමට පෙර කිහිප වතාවක් සිතිය යුතු බවද ඔවුන් පෙන්වා දී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයන්ගේ මෙම අදහස් දැක්වීම එම පක්ෂය ඒකමතිකව පිළිගෙන ඇති බවද එම එක් උපදේශකයකු පැවසීය.

මහින්දගේ කොළඹ ගමන නවතී : බැසිල් ගම්පහෙන් එයි !

එසේම මේ වන විටත් පක්ෂ නායකත්වය විසින් දිස්ත්‍රික් නායකයන්ද තෝරා අවසන් බවත් දැනට පක්ෂයේ සාමාජිකත්වය නිල වශයෙන් ලබා නොසිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනිමින් සිටින්නේ ඒ අනුව බවද වාර්තා වෙයි.

මේ අතර එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රිකයට නායකත්වය දෙමින් එළඹෙන මැතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමක් පවතින බවය. රාජපක්ෂ සමයේ ද ගම්පහ නායකත්වය දරනු ලැබුවේද බැසිල් රාජපක්ෂ මහතාය.

 තවද මහින්ද රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම ගැන සාකච්ඡාවක් මතුවුවත් පසුව එම තීරණය වෙනස් කරගෙන ඇති බවද වාර්තා වෙයි.  මහින්ද රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම ගැන ගනු ලැබූ තීන්දුවේදී අවධානය යොමුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට කොළඹ තිබෙන ශක්තිමත් පදනමට අභියෝගයක් එල්ල කිරීමය. නමුත් එහිදී ලබාගත හැකි මනාප ප්‍රමාණය සම්බන්ධව අවධානමක් මතුවිය හැකි බවය. ඒ අනුව තීරණය වෙනස් කර  දැනට මහින්ද මහතා ඉදිරිපත් වන දිස්ත්‍රික්කය ගැන තීන්දුවක් ගැනීම කල්තබා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment