සිරිසේන - මහින්ද පන්නන : ජනබල මෙහෙයුමට සැරසෙන්න - රනිල්.


නුදුරේදීම ආරම්භ කරන මහා ජනබල මෙහෙයුමක් හරහා සිරිසේන - මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට සූදානම් වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන්ගේ හමුව අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

ඔක්තෝබර් 26 වෙනිදා මාව අගමැති ධූරයෙන් ඉවත්කර තිබෙන බවට නිවේදනයක් නිකුත් කළා. නමුත් කිසිවෙක් ඒ වනවිට මාව ධූරයෙන් ඉවත් කර තිබුණේ නැහැ. ඒ සම්බන්ධව ලිපියක්වත් ලැබී තිබුණේ නැහැ. ඒ අනුව මා තීරණය කළා එදින රාත්‍රීය අරලියගහ මන්දිරයේ ගත කිරීමට. 2015 අගෝස්තු මාසයේදී අගමැති වුනාට පසු මගේ මතකයේ හැටියට ඒ වනවිට රාත්‍රී දෙකක් පමණයි අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ. එදා මා රාත්‍රිය ගතකර අළුයම බලන විට විශාල පිරිසක් මන්දිරයට පැමිණ සිටියා. එදා සිට අද වන තෙක් මේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන ආවේ ඔබේ කැපවීම නිසා බව මා ප්‍රකාශ කිරීමට කැමතියි.



අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ !

මම විවිධ දුක් ගැහැට විදිමින් විවිධ කැපකිරීම් කරමින් එදා සිට මේ දක්වා මෙම ස්ථානයේ රැදී සිටිනවා. ඒ වගේම අඛණ්ඩව ජනතාව සහභාගි කෙරෙව්වා. අප කැදවපු රැස්වීම් වලට පැමිණියා. ගමේ උද්ඝෝෂණ කළා. ගමේ රැස්වීම් කළා. අපි හැමෝම එකට එකතුවී ඉදිරියට ගියා. එලෙස ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවීමෙන් ක්‍රියාකල ඔබ සියළු දෙනාටම මගේ ස්තුතිය පළකර සිටිනවා.  ඔබ නොසිටියා නම් අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. පාර්ලිමේන්තුව නැහැ. කතානායකවරයෙක් නැහැ. මේ සියල්ල අපේක්ෂා කරමින් ජනබලයක් පෙන්වීමට හැකි වුනේ ඔබගේ කැපවීම නිසයි.

ඒ වගේම මේ සටනේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකට එකතුවී ක්‍රියාකළ අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා බහුජන සංවිධානවලට ද මගේ ස්තුතිය පළකළ යුතුයි.

මේ රැස්වීමේදී මට ඉහත කතාකළ කතිකයෝ කරුණු ගණනාවක් පිළිබදව ඔබව දැනුවත් කළා. මගෙන් පසුවත් තව කථිකයෝ කිහිප දෙනෙකුම ඔබව ඇමතීමට අපේක්ෂාවෙන් සිටින නිසා මා දීර්ඝ වශයෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වන්නේ නැහැ.

2015 ජනවරම තවමත් වලංගුයි !

2015 ජනවාරි 08 වෙනිදා අපිට ජනතාව වරමක් දුන්නා. මොකක්ද ඒ වරම මහින්ද රාජපක්ෂ පරාජය කරන්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න. මාව අගමැති කරන්න. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න තමයි එදා ඒ ජනවරම ලබා දුන්නේ. වෙනත් පුද්ගලයෙක් අගමැති ධූරයට පත්කරන්න ජනවරමක් දුන්නේ නැහැ. එදා රට ගොඩ ගැනීමේ වගකීම ජනතාව අපට පැවරුවා.

2015 අගෝස්තු මාසයේත් එවැනිම ජනවරමක් අපට ලැබුණා. මහින්ද රාජපක්ෂ අපට එපා කියා ඒ අවස්ථා දෙකෙහිදීම ජනතාව සනාථ කළා.  එම ජනවරමින් මෛත්‍රී ජනාධිපති ලෙසත්, මාව අගමැති ලෙසත් පත්කර ගනිමින් රටේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා එම ජනවරම එදා ලබාදුන්නා. අදටත් එය වෙනස් වී නැහැ.

නමුත් ඔක්තෝබර් 26 වෙනිදා සිදුවූයේ කුමක්ද ? මෛත්‍රීපාල සිරිසේන ඒ ජනවරම කනපිට පෙරලලා මාව ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂට රට භාරදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපති ජනාධිපතිවරයෙක් ගොඩනගන්න උත්සාහ කළා. එයට විරුද්ධව අප ක්‍රියා කළා. ඔබේ සහයෝගය නිසා ඊට විශාල ශක්තියක් ලැබුණා.

සිරිසේන - රාජපක්ෂ කල්ලියේ පහත් හැසිරීම ලෝකයම දැක්කා !

මහින්ද රාජපක්ෂ හොර පාරෙන් ගෙනවිත් පුටුවේ වාඩිකරන ආණ්ඩුවක් පත්කර ගත්තත් එවැනි ආණ්ඩුවක් නැති බව අපි පාර්ලිමේන්තුවේදී ඔප්පු කළා. ඊළඟ දිනයේදී කතානායකතුමා එය පිළිගෙන මහින්ද රාජපක්ෂටත්, ඔහු පත්කළ ඇමතිවරුන්ටත් තනතුරු නැති බව ප්‍රකාශ කළා. ඊළඟ දිනයේ නැවත පාර්ලිමේන්තුව රැස්වුණා. එදා එහි සිදුවූ සිද්ධීන් ලෝකයම දුටුවා. මුළු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරන තරමට එදා සිරිසේන, රාජපක්ෂ කල්ලිය හැසිරුණා. මෙලෙස මැර බලය යොදවන ආකාරය ඔබ සියළු දෙනා දුටු නිසා මා ඒ ගැන වැඩිදුර අදහස් දැක්වීමට බලාපොරොත්තු වන්නේ නැහැ.

සිරිසේන, රාජපක්ෂ කල්ලිය තමන් මැරයන් බව පාර්ලිමේන්තුවේදී ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්නුවා. මේ අයට එදා ඡන්දය පාවිච්චි කළ කිහිප දෙනෙක් මා හමුවේ ප්‍රකාශ කළේ මින් මතුවට කිසිදිනක මේ අයට ඡන්දය නොදෙන බවයි. පොහොට්ටුවට ඡන්දය ලබාදුන් අය ප්‍රකාශ කළේ "අපි පොහොට්ටුවට ඡන්දය දුන්නා. නමුත් මෙවැනි දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ. අපි නම් නැවත කවදාවත් පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැහැ" කියා ප්‍රකාශ කළා.

මැර බලයෙන් ආණ්ඩු අල්ලගෙන ඉන්න බෑ !

මේ සියළු අභියෝග මධ්‍යයේ අපේ බහුතරය පෙන්වීමට අපට හැකි වුණා. පොහොට්ටුව ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුවේ තමන්ට මන්ත්‍රිවරු සියයක් සිටිනවාද කියා පෙන්වීමට හැකිද කියා මා ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. එලෙස මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේවත් සහය නැතිනම් තවදුරටත් අමාත්‍යාංශවල රිංගා ගෙන සිටීමට තිබෙන අයිතිය කුමක්ද ? ඒ සඳහා තිබෙන බලය කුමක්ද? බලෙන් මැරයන්ගේ ආණ්ඩුවක් අටවාගෙන සිටිය නොහැකියි. ඒ කාලය අවසන් බව කිව යුතුයි.

2015 සැප්තැම්බර් මාසයේ සිට අද වනතෙක් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහයෝගය අපට තිබෙනවා. ඕනෑම අවස්ථාවක විශ්වාස භංගයක් ගෙන එනවා නම් එය පරාජය කරන්නත් විශ්වාසය දක්වන යෝජනාවක් ගෙනාවොත් එය ජයග්‍රහණය කරන්නත් අවශ්‍ය බහුතරය තිබෙන්නේ අපට පමණයි කියා මා ප්‍රකාශ කරන්න කැමතියි.
අද අපට තිබෙන්නේ බහුතරය තුලින් ආණ්ඩුව නැවත ලබාගෙන රට වෙනුවෙන් දියත් කළ වැඩ කොටස ඉදිරියට ගෙන යෑමයි. මේ රටේ ජනතාව සහ රට වෙනුවෙන් විශාල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට අපට ඉතිරිව තිබෙනවා.

අපේ අඩුපාඩුකම් තිබුණත් පසුගිය කාලය පුරාවට ජනතාව වෙනුවෙන් හොද හිතින් ක්‍රියා කළ පක්ෂයක් බව අද ජනතාවට ඔප්පු වී තිබෙනවා. අපි හැමවිටම ක්‍රියාකළේ ජනතා මතයට අනුවයි. ඒ නිසා අපිට ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට හෝ ඡන්දයකට යෑමට කිසිම බයක් නැහැ. අපේ බලය ජනතා බලයයි. ඒ බලය ආරක්ෂා කර ඉදිරියට යෑමට අප සැලසුම් කර තිබෙනවා.

කතානායකතුමා ආරක්ෂා කල යුතුයි : ඒ කැපවීම අතිවිශිෂ්ඨයි !

ඒ අනුව සියලූ පාර්ශවයන්ට එකට එක්වී කටයුතු කරගෙන ඉදිරියට යෑමට හැකි වන දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කිරීමට අප කටයුතු ආරම්භ කර තිබෙනවා. අප සියලූ දෙනා එක්ව එක්සත් ජාතික පෙරමුණ හැදුවා. එය දේශපාලන පක්ෂයක් නොවෙයි. ඒ නිසා නව දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේ අරමුණයි. ඒ සන්ධානය සෑම කෙනාටම සෙවනක් ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන දේශපාලන යන්ත්‍රණයක් හැටියටත් ඒ හරහා අප පියවර ගන්නා බව කිව යුතුයි.

ඒ වගේම අපේ තවත් යුතුකමක් තිබෙනවා. එදා නිර්භීතව ක්‍රියාකළ කරූ ජයසූරිය මැතිතුමා ආරක්ෂා කිරීම අපේ වගකීමක් ලෙස සලකා ක්‍රියාකළ යුතුයි. දැන් එතුමාගේ පඹයෝ පුච්චනවලූ. වස්දොස් අරින්න ක්‍රියාකිරීම ගැන අපි ඒ අයට ස්තුති වන්ත විය යුතුයි.

අද කතානායකතුමාට මේ අය දොස් කියනවා. නමුත් පාර්ලිමේන්තුවේ සිදුවූ සත්‍ය අප පමණක් නොව ලෝකයම දුටුවා. පුටු කඩන එක අප දුටුවා. මිරිස් කුඩු ගහන එකත් අප දුටුවා. ක්‍රිස්තියානි මන්ත්‍රීවරයෙක් බයිබලය ගෙන අපේ පැත්තට විසිකළ අයුරු අප දුටුවා. මේ මැර ක්‍රියා නවත්වමින් කතානායකතුමා පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න ක්‍රියාකළ නිසා කතානායකතුමාව අපි ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා තමා  එතුමාට සෙත් පැතීමේ ආගමික වැඩසටහන් සංවිධානය කළේ කියා මා ප්‍රකාශ කරන්න කැමතියි.

පාර්ලිමේන්තුව තුළ උපරිම බලය යොදවනවා !

පාර්ලිමේන්තුවේ උපරිම බලය අපි දැන් යොදවා තිබෙනවා. මේ වනවිට පාර්ලිමේන්තු බහුතරයත් වැඩිපුර මන්ත්‍රී සංඛ්‍යාවකුත් අප සමග සිටින බව පෙන්වමින් මුළු පාර්ලිමේන්තුවම අපි ජයග්‍රහණය කර තිබෙනවා.

බලහත්කාරයෙන් අමාත්‍යාංශවලට රිංගා එහි රැදී සිටින අය වහා ඉවත් විය යුතුයි. එසේ ඉවත් නොවනවා නම් පාර්ලිමේන්තු බලය පමණක් නොව ජනතා බලයත් යොදවා ජනබල මෙහෙයුම් මගින් පන්නා දැමීමට අප සූදානම් විය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මැතිතුමා මට දැනුම් දුන්නා ඔබ ඉදිරියේ කළ යුතු වැඩ කටයුතු මොනවාද කියා.  අත්පත්‍රිකාවක් මගින් ඉදිරි දින කිහිපය තුළ ඔබ දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා කියා. ඒ අනුව එමගින් ඔබ ගතයුතු පියවර ගැන ඉදිරියේදී දැනුවත් කරනවා.

නමුත් අපි  ජනබල මෙහෙයුමක් ඇති කරනවා නම් හැකි තරම් ජනතාව එක්රැස් කළ යුතුයි. විශාල ජනබලයක් ගොඩ නැගිය යුතුයි. ඒ සඳහා අපට දීර්ඝ කාලයක් තව ඉතිරිවී නැහැ. ඉතා කෙටි කාලයක් ඉතිරිව තිබෙන බව කිව යුතුයි.

ජන්ද මධ්‍යස්ථාන 12000ම දැනුවත් කිරීම අරඹන්න !

ඡන්ද මධ්‍යස්ථාන දෙළොස් දහසක් (12000) තිබෙනවා. ඒ ඡන්ද පොලවල් තුල අඩුම තරමින් ඔබ ජනයා දැනුවත් කර කුඩා රැස්වීම් 2 – 3 වත් පැවැත්විය යුතුයි.  එය අද සිටම ආරම්භ කරන්න මේ සටන එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජාතික පෙරමුණට පමණක් සීමා කරන්න එපා. මෙය ඕනෑම අයෙකුට එක්විය හැකි තැනක්  බවට පත්කරන්න.
ගමේ පන්සලේ, පල්ලියේ වැඩපොලේ හා කඩමන්ඩියේ ඒ සෑම තැනකටම ගොස් ජනතාව දැනුවත් කරන්න. ඒ අනුව අපිට තිබෙන එකම විකල්පය ජනබල මෙහෙයුමක් ඔස්සේ ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීම බව සියලූ පාර්ශවයන්ට අවබෝධ කර දෙන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

ඕනෑම ජනබල මෙහෙයුමකට එක්වීමට හැකිවන පරිදි බිම් මට්ටමේ සිට ජනතාව දැනුවත් කරන්න. ඒ අනුව ජනතාව එක්රැස් කරන ව්‍යාපාරය අද සිටම ආරම්භ කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

ජනබලය මෙහෙයුම සිදුකිරීමේදී පාක්ෂිකයන් පමණක් නොව රටේ සියලූ ජන කොටස් එයට එක්කර ගත යුතුයි. එසේ නොකරනවා නම් එය සාර්ථක වන්නේ නැහැ. අපි සියලූ පාර්ශවයන්ගේ සහයෝගය ජනබල මෙහෙයුමට ලබාගත යුතුයි.

ඒ අනුව ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලය හරහා සහ වෙනත් ක්‍රම ඔස්සේ ඔබට අපේ පණිවුඩ එවීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඔබ සියලූ දෙනා එකට එකතු වී ජනබලය සංවිධානය කරන්න කියා ඉල්ලා සිටිනවා.

මෛත්‍රී , රාජපක්ෂ හවුල සිදුකර තිබෙන්නේ ජනතා අයිතිය නැති කිරීමටයි. මේ ගැන අළුයම අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට යන මොහොත දක්වා ඔබ ගැවසෙන හැම තැනකදීම ජනතාව දැනුවත් කරන්න. ඒ අනුව සත්‍ය අවබෝධකර දී ජනතාව දැනුමෙන් සන්නද්ධ කර ජනතාව එක්රැස් කරන්න. එලෙස එක්රැස් කර අපි ඔබට දැනුම් දුන් වහා ජන බල මෙහෙයුට සහභාගි වන්න. ඒ මොහොත උදාවනතෙක් සෑම ගමකම, නගරයකම විවිධ උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර පවත්වන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඔබ කළයුතු ප්‍රධාන කාරණා හතරක් තිබෙනවා. කතානායකතුමා ආරක්ෂා කරන්න බිම් මට්ටමේ රැස්වීම් පවත් ජනතාව ඒකරාශි කරන්න, එමෙන්ම ගමේ ඇති සමිති සමාගම්, පන්සල් පල්ලි ඒ සියල්ලටම කතා කරන්න. ජනතාව දැනුවත් කරන්න. ජනබල මෙහෙයුම සූදානම් වන්න.

එමෙන්ම මේ සති අන්තයේදී හරින් ප්‍රනාන්දු ඇමතිතුමා යටතේ  "යුක්තියේ යාත්‍රාව" මැයෙන් අළුත් වැඩ සටහනක් ආරම්භ කරනවා.  මෙම වැඩසටහන යටතේ වාහන දහස් ගණනක් සහභාගිත්වයෙන් සෙනසුරාදා උදෑසන රථ පෙළපාලිය කොළඹ සිට දෙවිනුවර දක්වා ගමන් කරනවා. පසුදින අළුයම කතරගම දේව පූජාවට සහභාගි වී එදින සන්ධ්‍යාවේ මහියංගනයෙන් මේ වැඩසටහන අවසන් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහනට එක්වී ඔබේ බලය පෙන්වන ලෙස සියලූ ජනතාවගෙන් මා ඉල්ලා සිටීමට කැමතියි.

මීට අමතරව තවත් වැඩසටහන් ගණනාවක් අප සැලූසම් කරමින් සිටි බව කිව යුතුයි. ලබන 03 වෙනිදා ගාල්ල නගරයේ තවත් විරෝධතාවයක් පවත්වනවා. ජනබල මෙහෙයුම ගැන අපි ඔබට ඉදිරියේදී දැනුම් දෙන්නම්. ඒ අනුව අපි වැඩකරමු. ඉදිරියට යමු යැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment