කෙරවලපිටිය LNG බලාගාර ටෙන්ඩර් නඩුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍ය නිවේදනයක්.


කෙරවලපිටිය LNG බලාගාර ටෙන්ඩර් නඩුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, පාරිභෝගික අයිතීන් සුරකීමේ පිළිබඳ ජාතික ව්‍යාපාරය විසිනි.


එම නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනය

ශ‍්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින විදුලිබල ඉල්ලූම සපුරාලීම සඳහා 2017 වසරේදී වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ මෙගාවොට් 300ක ධාරිතාවයෙන් යුතු ද්විත්ව චක‍්‍ර ඛභඨ විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවන ලද අතර ඉදිරිපත්වූ ව්‍යාපෘති යෝජනා අතරින් පිළිගත් ටෙන්ඩර් යෝජනා සියල්ල තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සහ කැබිනට් අනුමත ප‍්‍රසම්පාද කමිටුව විසින් ඇගයීමට ලක්කරන ලදි.  දීර්ඝ ඇගයීම් ක‍්‍රියාවලියකින් පසු තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ කැබිනට් අනුමත ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම ඉදිකිරීම් ටෙන්ඩරය විදුලි ඒකකයක් සඳහා අවම මිළ ඉදිරිපත් කල දේශීය සමාගමට (ලක්දනව් සමාගමට) ලබාදීමට තීරණය විය.

නමුත් එම තීරණය  අභියෝගයට ලක්කරමින් ටෙන්ඩරය සදහා  මිල ඉදිරිපත් කල සමාගම් ලයිස්තුවේ දෙවන ස්ථානය ගනු ලැබූ චීන සමාගම (චයිනා ජී.සී.එල්) විසින්  ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලබන අතර එහිදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිය රාජකාරි සීමාවන්ද ඉක්මවා යමින්  චීන සමාගම විසින් යොමු කල අභියාචනයට පක්ෂව  කරුණු දක්වන ලදි.

විදුලිබල ක්ෂේත‍්‍රයේ ඉහළ දැනුමක් සහ පළපුරුද්දක් සහිත සාමාජිකයින්ගෙන් සමන්විත  තාක්ෂණික ඇගයීම් කම්ටුවත්, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල ප‍්‍රසම්පාදන කමිටුවත් විසින් අවස්ථා කිහිපයකදීම නිර්දේශ කල අවම මිල ඉදිරිපත්කල දේශීය සමාගමට මෙම ටෙන්ඩරය ලබා නොදී චීන සමාගමට ලබාදීමට එහිදී තීරණය විය.

එම තීරණය මත පිහිටා බලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත යොමුව තිබියදී රටට මින් සිදුවන විශාල පාඩුව පිළිබඳව සංවේදී වූ අප සංවිධානය විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදි.

මෙම බලාගාරයේ විදුලි ඒකකයක් සඳහා දේශීය සමාගම රුපියල් 14.98 ක ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර චීන සමාගම රුපියල් 15.97 ක ලංසුවක් ඉදිරිපත් කර තිබේ. එ් වෙනස අනුව මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සදහා ගිවිසුම්ගත වන වසර 20 ක කාලය තුලදී,  රුපියල් බිලියන 50 ක මුදලක් රටට අහිමි වනු ඇතැයි බලශක්ති ක්ෂේත‍්‍රයේ විශේෂඥයින්ගේ මතයයි. එම පාඩුව දැරීමට සිදුවන්නේ මෙරට විදුලි පාරිභෝගිකයින්ටය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමට අපොහොසත් වී ඇතැයි  ප‍්‍රකාශ කල අතර නඩුව ඉදිරියට විභාග වෙමින් තිබේ.

එසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාග වෙමින් තිබියදී ඔක්තෝම්බර් මස 24 වනදා විදුලිබල අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ජාවකදී කෙරවලපිටිය විදුලිබලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමටත්, ඒ වෙනුවෙන් වෙනත් බලාගාර ව්‍යාපෘතියක් දේශීය සමාගමට ලබාදීමටත් එහි සිටි නිලධාරීන් විසින් සාකච්ජා කර ඇති අතර එම සාකච්ජාව තීරණයකින් තොරව අවසන් වී ඇත.

පසුගිය ඔක්තෝම්බර් 26 වනදා මෙරට සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟ මෙම ටෙන්ඩරය නව කැබිනට් මණ්ඩලය හරහා අනුමත කරවාගෙන චීනයට ලබාදීමට කූඨ සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි අප වෙත වාර්තා වී තිබේ.

මෙම නීතිවිරෝධී ක‍්‍රියාදාමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කලා සේම, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මෙරට විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් ඉදිරියටත් අප පෙනී සිටින්නෙමු.

මේ මොහොතේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව  මාධ්‍ය ආයතන සහ ජනතාව දැනුවත් කිරීම පිණිස අප මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නෙමු.

මෙයට,විශ්වාසී,

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ පිළිබඳ ජාතික ව්‍යාපාරය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment