රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නය ඇතිවූයේ රජයේ අදූරදර්ශී වැඩ නිසා - මහින්ද

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේවනවිට රෙගු දෙපාර්තමේන්තුවේ වර්ජනය නිසා ඇතිව තිබෙන තත්වය ගැන පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. එය පහතින්

වර්තමාන රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මේ මොහොතේ අඩපණ වී ඇත. ජනාධිපති වරයාගේ
අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස රජය කටයුතු කිරීම පිළිබඳව අපට පැති කිහිපයකින් සැක පහල වේ. පසුගිය වසර දෙක, තුන තුළ රේගු දෙපාර්තමේන්තුවේද ඇතැම් වංචා හා දූෂණ සිදුවී ඇති බව වාර්ථා වී ඇත. එම දූෂණ සහ අක්‍රමිකතා පසුපසින් ඇතැම් බලගතු දේශපාලඥයින්ද
සිටින බව ඇතැම් රේගු නිලධාරින්ම ප්‍රකාශ කර ඇත. මෙම අකටයුතුකම් සහ දූෂණවලට විරුද්ධව වන රේගු දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ලවන බවද වාර්තා වේ.

විශේෂයෙන් පසුගිය වසර හතර තුළ රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරයට නිලධාරීන් 4 දෙනෙකු පත් කිරීමෙන්ම මෙම අර්බුධකාරී තත්වය කෙතරම් බරපතල දැයි අණාවරණය වේ. අවස්ථා කීපයකදීම නිති විරෝධී මත්ද්‍රව්‍ය විශාල තොග වශයෙන් මෙරටට ගෙනෙන ප්‍රධානම මාර්ග රේගු නිලධාරීන් විසින් අහුරන ලදී.

තම රාජකාරී කටයුතු අකුරටම ඉටුකල රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ‍ජෙනරාල්වරිය රාජ්‍ය පරිපාලන සංචිතයට මාරුකර යැවීම මෙම රේගු වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත. 

රේගු වෘත්තිය සමිති ආරම්භ කොට ඇති අකුරට වැඩ කිරීම නිසා මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාද වී ඇත. මේ හේතුවෙන් රට තුළ අතවශ්‍ය භාණ්ඩවල මිල පවා ඉහල යාමට ඉඩ ඇත.  එවැනි තත්වයක් උදා වුවහොත් ඒ පිළිබද වගකීම සම්පූර්ණයෙන්ම රජය භාරගත යුතුය. මෙම රජය පත්වූ අවස්ථාවේ සිටම රටට සහ ජනතාවට අහිතකර තීන්දු තීරණ ගැනීම පුරුද්දක් ලෙස කරගෙන යමින් සිටින බව රහසක් නොවේ.

ජන ජීවිතයට බලපාන මෙවැනි සංවේදී ආයතන කාර්යක්ෂමව පරිපාලනය කළ යුතු බව රජයට අවධාරණය කරන අතර අදාළ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කොට රේගු දෙපාර්තමේන්තුවේ ගැටළුව වහාම විසදීමට අදාළ බලධාරීන් ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු. 


මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment