බලශක්ති අර්බුධය: මාසෙන් දෙකෙන් මැජික් පෙන්නන්න බෑ.


ඉදිරි දින 10 තුළ විදුලි සැපයීම අඛණ්ඩ කිරීමට හැකිවනු ඇති බවත් යළිත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති කිරීමට ඉඩනොදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසයි.

නොරොච්ච්ලේ විදුලි බලාගාරයේ ඇතිවූ බිඳවැටීම මෙන්ම මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණය නිසා විදුලි ඉල්ලුම 15%කින් පමණ වැඩිවීම ද මෙම විදුලි පාලනයට බලපා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ රටේම පවතින වායු සමීකරණ භාවිතය සීමා කිරීමට සහ දිනකට විදුලි බුබුළු දෙකක් භාවිතය අඩු කිරීමට හැකි නම් මේ තත්වයෙන් ගොඩ ඒමට තාවකාලික හැකියාවක් ඇති බවය.

මේ සම්බන්ධයෙන් සඳුදා (25) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව විදුලි ප්‍රශ්නය සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරන අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එමෙන්ම මේ වනවිට ස්වභාවික වායු බලාගාර (LNG) දෙකක් සහ මෙගාවොට් 194ක සූර්ය බලාගාර සඳහා අවසර ලබාදී ඇති බවත් ඒ කටයුතු සම්පුර්ණ වීමත් සමඟ පවතින ගැටළු පහව යනු ඇති බවද අමාත්‍යංශය සඳහන් කරයි.

දින 100න් මැජික් පෙන්වන්න බෑ !

මේ අතර දැනට තිබෙන අර්බුදය සම්බන්ධව විදුලි බල අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු වෙතින් අප කල විමසුමකදී ඔහු සඳහන් කර සිටියේ මෙරට ජනන සැලැස්ම ක්‍රියාවට නැගීමට අඛණ්ඩව එල්ලවී ඇති බාධා සහ පසුගිය සමයේ තිබු දුර්වල පරිපාලන කටයුතු හේතුවෙන් සුළු බිඳ වැටීමකදී පවා විදුලිය ඇණහිටින තත්ත්වයක් මතුව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉහල නිලධාරියා මෙසේද පැවසීය.

කවුරුවත් හිතා මතා මෙහෙම වෙන්න දෙන්නේ නෑ. කෙරවලපිටිය 2 LNG බලාගාරය ඉදිකිරීම පවා බාධා මතුවෙලා. කවුරුත් ඇමතිට බනිනවා, අමාත්‍යංශ ලේකම්ට බනිනවා. දින 100ක් නෑ අමාත්‍යංශය භාර අරගෙන. මැජික් බලයෙන් බලාගාර හදන්න බෑනේ. මේ යතාර්ථය මිනිස්සු තේරුම් ගන්න ඕන. හදිසි මිලදී ගැනීම් නවත්තලා. ඒ වගේම තමයි බලශක්ති මාෆියාව. පහුගිය දින වල අමාත්‍යංශය උස්සලා පොළවේ ගහන්න ගියේ ඒ අය. සමාගම් සහ මාෆියා වල අජෙන්ඩා කවදාවත් ජනතාවට සහනයක් දෙන්නේ නෑ. ඒ නිසා මේ වෙලාවේ රජයේ ක්‍රියාවලියට සහය දෙන්න ජනතාව තේරුම් ගන්න ඕන.

ඉස්සර කාලයක් තිබුණා අමාත්‍යවරයා විදුලි ඉංජිනේරුවන් සමඟ ගැටුණා. ඊට පස්සේ ආව අමාත්‍යවරයා හැමෝම කියන දේ අහන්න ගිහින් මොකුත් කරගන්න බැරිව හිටියා. දැන් ඒ ඒ පාර්ශවයන්ට වගකීම් නිදහසේ ඉටුකරන්න දීලා ප්‍රතිපත්තිය හදන දේට විතරක් අමාත්‍යවරයා මැදිහත්වෙන තත්ත්වයක් තියෙන්නේ. අපිට විශ්වාසයි මේ ක්‍රමයට සාර්ථක ගමනක් යන්න ලැබෙයි කියලා. ඒ නිසා ස්වාභාවික උවදුරකදී, තාක්ෂණික ප්‍රශ්නයකදී විදුලි මාෆියාවට බොරදියේ මාළු බාන්න නොදෙන්න ජනතාව වගබලා ගත්තා නම් ඇති. අපි ඉතුරු සියල්ල කරලා දෙනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment