එට්කා තවමත් අධ්‍යයනය කරන බව ඉන්දියාව කියයි



ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමෙන් දෙරටේම සියලූම ජනතාවට ප්‍රතිලාභ අත්වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ.සිංහා පවසනවා.

මහනුවරදී මල්වතු මහ නාහිමියන් සහ අස්ගිරි අනුනාහිමියන් ඊයේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේ එට්කා ගිවිසුම තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත ගිලන් රථ සේවාව පිළිබඳවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ.සිංහා මහනුවරදී අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මීට වසරකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත සිදුකළ ලිඛිත ඉල්ලීමකට අනුව එම ගිලන් රථ සේවාව ආරම්භ කිරීම සඳහා ඉන්දියාව කටයුතු කළ බවයි.

ශ්‍රී ලංකාව එම ඉල්ලීම කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රාන්ත 17 ක ක්‍රියාත්මක වන කාර්යක්ෂම ගිලන් රථ සේවාව පිළිබඳව ප්‍රසාදයෙන්.

මෙහි මුල් අදියර සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක් ලබාදීමට පියවර ගැනුණා.

ගිලන් රථ සේවාව බස්නාහිර සහ දකුණු පළාත්වල මුලින්ම ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා රියදුරන්, හෙදියන් සහ වෛද්‍ය සහයකයන් 600 ක් බඳවා ගැනෙනවා.

ඔවුන් සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් වන අතර, හයිද්‍රාබාදයේදී පුහුණුව ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප සබඳතාව වැනි සම්බන්ධතාවක් ලොව දක්නට ලැබෙන්නේ විරල වශයෙන්.

ඉන්දියාව ශ්‍රී ලාංකිකයන් සලකන්නේ සහෝදර සහෝදරියන් ලෙස බවයි ඉන්දීය මහ කොමසාරිස්වරයා කියා සිටියේ.

ඉන්දියාව මේ වනවිට ලොව සීඝ්‍රතම වර්ධනය ලබන රාජ්‍යයයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තේමා පාඨය වී ඇත්තේ එක්ව ගොඩනැගෙමු යන්නයි. එහිදී අසල්වාසීන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.

ඒ අනුව ඉන්දියාවේ වර්ධනය ශ්‍රී ලංකාවේද සංවර්ධනයට හේතුවන බව ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ.සිංහා සඳහන් කළා.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළ මහකොමසාරිස්වරයා කියා සිටියේ උතුරේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් නිවාස 44,000 ක් මේ වනවිට අවසන් කර ඇති බවයි.

ඉන්දියාවේ මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක පාසල්, රෝහල් ව්‍යාපෘති මෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශාලාව පිළිබඳවද ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී සිහිපත් කළා.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment