ඌවේ මහ ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි



සිය බලය අයුතු ලෙස යොදාගනිමින් පළාත් සභාව සතු ගිණුම් 3ක මුදල් අයථා ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඌව පළාතේ  මහ ඇමතිවරයා වහාම සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බව එම පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පැලවත්ත" බත්තරමුල්ලහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ ඌව පළාත් සභා මන්ත්‍රී ජවිපෙ මධ්‍යම කාරක සභික ආර්.එම්. ජයවර්ධන මහතා සහභාගී වූහ.

එහිදී අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මේ වනවිට ඌව පළාත් සභාව ගිනියම් වෙලා තිබෙනවා. පහුගිය මහ මැතිවරණයට කලින් ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා වූ හරීන් ප‍්‍රනාන්දු ඉල්ලා අස්වුණා. ඉන් පස්සේ චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම අත්හැරලා පළාත් සභාවට ඇවිත් මහ ඇමති ධුරයට පත්වුණා. ඉන් අනතුරුව ඌව පළාත් සභාව තුළ විශාල ලෙස මූල්‍ය අක‍්‍රමිකතා සිදුවුණා. පරිපාලනය බිඳ වැටුණා. ඒ අවස්ථාවලදී අපි ඒවා පෙන්වා දුන්නා. නමුත් දිගින් දිගටම පරිපාලනයේ දුර්වලතා සහ මූල්‍ය අක‍්‍රමිකතා වර්ධනය වෙනවා මිසක ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමක් සිදුවෙලා නැහැ. ඒවා වළක්වා ගන්න අපි බලපෑම් කළා. නමුත් පළාත් සභා මහඇමතිවරයා මුහුණ දෙන්නේ නීත්‍යානුකූලව හෝ පළාත් සභාවේ නීති-රීතිවලට අනුව නෙමෙයි. ඔහු දැන් කරන්නේ දේවාලවල මිරිස් අඹරන එකයි.

ඔහු ප‍්‍රධාන ඇමතිවරයා ලෙස, පසුගිය නොවැම්බර් මාසයේදී පළාත් සභාවේ මුදල් තැන්පත් කොට තිබෙන ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන බැංකුවලට ලිපියක් යොමු කරමින්, පෙර පාසැල් ළමුන් සඳහා පාසැල් බෑග් ලබාදීමට ආධාර කරන ලෙස ඉල්ලා සිටියා. ඔහු එම ලිපියේ ලංකාවේ දුප්පත්ම පළාත් සභාව ඌව පළාත් සභාව බවත් ලංකාවේ දුප්පත්ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් කිහිපයක්ම පළාත් සභාවේ තිබෙන බවත් එම නිසාම පළාත් සභාවට ප‍්‍රතිපාදන අඩුවෙන් ලැබෙන බවත් එම නිසා ඇතිවී තිබෙන මුදල් අපහසුතා නිසා පරිත්‍යාගයන් කරන ලෙස සඳහන් කොට තිබුණා.

ඒ අනුව මහජන බැංකුවත් ලංකා බැංකුවත් මුදල් ආධාර කළා. එම මුදල් පළාත් සභාවේ ගිණුම්වලට මේ වනතුරුත් ඇතුළත් වෙලා නැහැ. පළාත් සභා පනතට අනුව කිසිදු පරිත්‍යාගයක් මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර කරගන්න බැහැ. ඒ අනුව මහ ඇමතිවරයා පළාත් සභා පනත උල්ලංඝණය කරමින් කටයුතු කර තිබුණා.

මහ ඇමතිවරයාගේ මේ ඉල්ලීමට අනුව කටයුතු කළ නොහැකි බව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබුණා. එම නිසා මහ ඇමතිවරයා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත්කර ඇති ස්ථාවර තැන්පතු 06ක් ඉවත් කරගන්නා බවට පළාත් සභාවේ ලේකම්වරයා මගින් බැංකුවට දන්වා සිටියා. එම ස්ථාවර තැන්පතු හයම කල් පිරී නොමැති අතර එම තැන්පතු ඉවත් කරගැනීම නිසා පළාත් සභාවට රුපියල් එක්කෝටි හැත්තෑ තුන් ලක්ෂ නවදහස් තුන්සිය තිස් හතයි ශත හැටක (රු. 17,339,337.60) මුදලක්  අහිමි වෙනවා.

 මහ ඇමතිවරයා පළාත් සභාවේ මුදල් විෂය භාර ඇමතිවරයා ලෙස අත්තනෝමතික ලෙස කටයුතු කරමින් ගිණුම් දෙකක් මේ වනවිටත් ඉවත්කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම ගිණුම් දෙක ඉවත් කරගැනීම නිසා පළාත් සභාවට රුපියල් එක්කෝටි තුන්ලක්ෂ දහඅටදහස් දෙසිය විසි අටක (රු. 10,318,228) මූල්‍යමය පාඩුවක් සිදුවන බවට බැංකුව විසින් පළාත් සභාවට ලිඛිතව දැනුම්දී තිබියදී තමයි මෙම ගිණුම් ඉවත් කර ගන්නේ. මහ ඇමතිවරයාගේත් පළාත් සභා ලේකම්වරයාගේත් මෙම ක්‍රියාවලිය නිසා මේ වනවිටත් පළාත් සභාවට රුපියල් ලක්‍ෂ 103ක පාඩුවක් සිදුවෙලා තිබෙනවා.

මෙම සිදුවීමට කලින් මේ සම්බන්ධයෙන් විශේෂ පළාත් සභා වාරයක් කැඳවලා මම යෝජනාවක් ඉදිරිපත් කළා, මෙම තැන්පතු ඉවත් කිරීම නිසා පළාත් සභාවට විශාල පාඩුවක් සිදුවන නිසා එම ස්ථාවර තැන්පතු ඉවත් කරගන්න එපා කියලා. මෙම යෝජනාව ඉදිරිපත් කරන දවසේ මහ ඇමතිවරයා පළාත් සභාව මගහැරියා. නමුත් ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ ඒකමතිය අනුව එම යෝජනාව සභා සම්මත වුණා. එවැනි යෝජනාවක් සම්මත වී තිබියදී තමයි මහ ඇමතිවරයා තමන්ට හිතවත් නිලධාරියෙකු බැංකුවට යවලා මෙම මුදල් තැන්පතු ඉවත්කරගෙන තිබෙන්නේ.

පසුගිය 10වැනිදා පළාත් සභාවේ මෙම යෝජනාව සම්මත වීමෙන් පසුව මුදල් ඉවත් කර නොගන්නා බවට පළාත් සභාවේ වැඩ බලන ලේකම්වරයා ලිපියක් මගින් බැංකුවට දැනුම්දී තිබුණා. නමුත් මහ ඇමතිවරයා නිලධාරින් කැඳවලා ඔවුන්ට බැණ වැදී තර්ජනය කරලා වැඩ බලන ලේකම්වරයා ලවාම බැංකුවට ලිපියක් යවා මෙම මුදල් ආපසු ලබාගෙන තිබෙනවා. මේ නිසා මහ ඇමතිවරයා විසින් හිතාමතා පළාත් සභාවට මූල්‍ය පාඩුවක් සිදුකොට තිබෙනවා. එමෙන්ම සභාවේ ඒකමතික තීරණයක් නොතකා කටයුතු කර තිබෙනවා. එමෙන්ම බැංකුවලින් ලබාදුන් ආධාර මුදල් තමන්ගේ ගිණුම්වල තැන්පත්කොට තිබෙනවා. මෙම චෝදනා තුන දැන් ඔප්පු වී අවසන්.

ඌව පළාත් සභාවේ ගරුත්වය කෙළෙසිලා තිබෙනවා. ඒකමතික තීන්දු කඩපු අයට ගන්න තීරණය මොකක්ද කියලා අපි අහනවා. මේ හේතුව නිසා පළාත් සභාවේ පක්‍ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳෙව්වා. එම රැස්වීමට මහ ඇමතිවරයාත්, විපක්‍ෂ නායකවරයාත්, ජවිපෙ නියෝජනය කරමින් මමත්, නිලධාරීනුත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ වෙලාවේදී මහ ඇමති කිව්වා, මෙම කි‍්‍රයාවලියට කිසිසේත් තමා සම්බන්ධ නැති බවත් මේ සියල්ල සිදුකළේ නිලධාරීන් බවත්. ඉන් අනතුරුව වැඩ බලන ලේකම් රාජදාස මහත්තයා සභාවට කැඳවලා ප‍්‍රශ්න කිරීම් කළා. එහිදී ඔහු පිළිගත්තා සභාවේ තීන්දුවක් කඩ කළා කියලා. නමුත් ඔහු කිව්වේ ප‍්‍රධාන ලේකම්ගේ උපදෙස් අනුව තමන් කටයුතු කළා කියලා. මහ ඇමතිවරයාගේ බලපෑම් සම්බන්ධයෙන් හෙළිදරව් නොකිරීමට ඔහු වගබලා ගත්තා.

පළාත් සභාවේ වැඩබලන ලේකම්ගේ ප‍්‍රකාශවලට අනුව විශාල මූල්‍ය වංචාවක් සිදුවෙලා කියලා පැහැදිලි වුණා. ඒ අනුව දෙවන වතාවටත් පක්‍ෂ නායක රැස්වමක් කැඳෙව්වා. එහිදී තීරණයක් ගත්තා වැරදිකරුවන්ට එරෙහිව පළාත් සභාවේ නීති-රීතිවලට අනුව නීති උපදෙස් ලබා ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඒ අනුව ඊළඟ පළාත් සභා වාරයට නීතිමය තත්ත්වයන් දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ඌව පළාත් සභාවේ මෙවැනි වංචාවන් දිගින් දිගටම සිදුවෙනවා. මෙම චෝදනාවල්වලට මහ ඇමතිවරයා උත්තර දෙන්නේ නැහැ. අධ්‍යාපන, මුදල්, නීති සහ ආරක්‍ෂාව බාර ඇමතිවරයා වන්නේ මහ ඇමතිවරයායි. මෙම විෂයය අයිති මහ ඇමතිවරයාට. චෝදනාවලට පිළිතුරු ලබා දෙනවා වෙනුවට ගල් යුගයේ වැඩ කරනවා. දේවාලවලට ගිහිල්ලා මිරිස් අඹරනවා. අධ්‍යාපනය බාර ඇමතිවරයාගේ අධ්‍යාපන මට්ටම මොකක්ද කියලා මේවායෙන් තේරුම් ගන්න පුළුවන්. අපිට මිරිස් අඹරන්න, පොල් ගහන්න දේවාල ගානේ යන්න වෙලාවක් නැහැ. එනිසා මෙම වංචා-දූෂණවලට එරෙහිව නීතිමය පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. අධිකරණ ක්‍රියාමාර්ගවලටත් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහා පරිමාණ මූල්‍ය විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ වනවිට මහ ඇමතිවරයාට එරෙහිව චෝදනා ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා අපි කියනවා ඔහු මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ඔහු නිවැරදි නම් කළ යුතුව තිබුණේ අපිට විරුද්ධව නීතිමය පියවර ගන්න එකයි. අපි බොරු කිව්වා නම් අපෙන් වන්දියක් අයකරගන්න තිබුණා. පළාත් සභාවේ මුදල් පිළිබඳව තීන්දු-තීරණ ගන්නේ මහ සභාවෙන්. එම මහ සභාවේ තීරණ තමයි මුදල් ඇමතිවරයා නිලධාරීන් හරහා කි‍්‍රයාත්මක කළ යුත්තේ. එනිසා මෙම ස්ථාවර තැන්පතු ඉවත්කර ගැනීම මුදල් ඇමති ලෙස මහ ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් තොරව සිදුකරන්න බැහැ. එනිසා ප‍්‍රධාන චෝදනාව එල්ල වෙන්නේ මහ ඇමතිවරයාට.

මීට අමතරව පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ දූෂිත වැඩ ගොඩක් තිබෙනවා. පළාත් සභා මන්ත්‍රීවරුන්ට උපදේශකයින් පත් කර ගැනීමට නොහැකි බවත් කැබිනට් පත්‍රිකාවක් පවා නිකුත්කර තිබියදී නීති විරෝධී ලෙස මහ ඇමතිවරයා විසින් උපදේශකයින් 08 දෙනෙක් පත්කරගෙන තිබෙනවා. එක් උපදේශකයෙකුට මාසිකව රුපියල් හතලිස්පන්සහසක් (රු.45,000) පමණ ගෙවනවා. මේ සියලු දෙනාම ශ්‍රීලනිපයේ පරාජිත මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකයින්. බන්දුසේන, සුජීව ජයසිංහ, පාලිත ආරියවංශ, ඉලේපෙරුම යන අයද මෙම උපදේශක මණඩලයේ ඉන්නවා. දුප්පත්ම පළාත් සභාවේ මුදල් මේ ආකාරයට මහ ඇමතිවරයාට හිතන විදියට කාබාසිනියා කරමින් තිබෙනවා.

දැන් ඔක්කොම හොරුටික දේවාල ගානේ යන්න පටන් අරගෙන. මේ හොරු ඔක්කොම දේවාලවලට යන නිසා දැන් දේවාලවල දෙවියනුත් නැහැ. පහුගිය කාලයේ අපේ රටේ ජනතාවට වගේම මේ දේවාලවලටත් දෙවියන්ටත් ප‍්‍රජාත්නත‍්‍රවාදය තිබුණේ නැහැ. පහුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ අරගල කරලා තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගත්තේ. රාජපක්‍ෂ පාලනය කාලයේ දේශපාලන බලය පාවිච්චි කරමින් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ අයිතිකරගෙන තිබුණා. එනිසා කතරගම දේවාලය රාජපක්‍ෂලාගෙන් බේරා ගත්තේ අපි. ඒ නිසා දැන් දේශපාලනඥයින්ගෙන් දේවාල බේරගන්න වෙලා තිබෙන්නේ අපිටයි. දේවාලවල තිබෙන පිං කැට බේරගන්න සී.සී.ටී.වී. කැමරා හයි කරන්න වෙලා. දේවාලවල සිදුවෙන අක‍්‍රමිකතා පිළිබඳව එෆ්. සී.අයි.ඩී. එකට පැමිණිලි එනවා. ඒ නිසා දේවාල ගානේ ගිහින් මිරිස් අඹරලා ඵලක් නැහැ. මම මහ ඇමතිවරයාට අභියෝග කරනවා ඕනෑම රූපවාහිනී ආයතනයක ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. සියලුම චෝදනා ලිඛිත සාක්‍ෂි ඇතිව ඔප්පු කරන්න මම සූදානම්. ඒ වගේම මහ ඇමතිවරයාට කියනවා ඌව පළාතේ ජනතාවගේ මුදල් කාබාසිනියා කරන්නේ නැතිව මහ ඇමතිධුරයෙන් ඉවත් වෙන්න කියලා. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවටත් ගිණුම් කාරක සභාවටත් සියලුම ලිඛිත සාක්‍ෂි ඇතිව පැමිණිලි කර තිබෙනවා. ඊටඅමතරව ඉදිරියේදී නීතිමය පියවර ගැනීම සඳහා මේ වනවිටත් නීති උපදෙස් ලබාගනිමින් සිටිනවා."

විජිත හේරත් මහතා මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

"පළාත් සභාවේ මෙම මූල්‍ය වංචාවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මහ ඇමතිවරයාටත් වැඩ බලන ලේකම්වරයාටත් එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේ බලාපොරෙත්තුව පළාත් සභාවට අහිමි වූ මුදල් ඔවුන්ගෙන් අයකර ගැනීමයි. ඒ වගේම අල්ලස් පනතට අනුව 70වන වගන්තිය ප‍්‍රකාරව කටයුතු කරමින් ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමටද අපි බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේ ඉදිරිපත්වුණු චෝදනාවලට අදාළව කරුණු අල්ලස් කොමිසමටත් එෆ්.සී.අයි.ඩී.යටත් අපි භාරදී තිබෙනවා. නමුත් විමර්ශන සිදු නොවීම සහ ප‍්‍රමාද වීම තමයි ගැටලු සහගත වෙලා තිබෙන්නේ. පහුගිය කාලයේ සිදුවූ මූල්‍ය වංචාවන්ට, ඝාතන සිදුවීම්වලට චෝදනා ලැබූවන් ආරක්‍ෂා කරන ක‍්‍රමවේදයක් තිබෙන බවට අපිට සැකයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න කියලා අපි ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කරනවා. ආණ්ඩුව චූදිතයන් සමඟ දේශපාලන ඩීල් කරමින් ඉන්නවා. සජින් වාස් ගුණවර්ධනට එරෙහිව චෝදනා විශාල ප‍්‍රමාණයක් එල්ල වුණා. නමුත් ඔහු ආණ්ඩුවේ ඩීල් එකකට අනුව ඇප ලබාගෙන දැන් පොලිස් ආරක්‍ෂාවත් ඇතිව නිදහසේ ඉන්නවා.

මහින්ද රාජපක්‍ෂගේ කාලයේ කොටි හමට තැළුවා. එල්.ටී.ටී.ඊ ප‍්‍රශ්නය නිසා ආර්ථිකය ගොඩගන්න බැහැ කිව්වා. දැන් රනිල් මහින්දලාට තළනවා. රවී කරුණානායක ණය ගැන කියනවා. ඒ අය  ආණ්ඩුව ගන්න විට ආර්ථික අර්බුදයක් තිබෙන බව දැනගෙන හිටියා. පහුගිය රාජපක්‍ෂ පාලනය තුළ ණය ගත්තේ පොත්වල ලියලා නෙවෙයි කියන එක ඒ කාලෙම දැනගෙන හිටියා. ඒක රහසක් නෙවෙයි. රාජපක්‍ෂ මහ බැංකුව හරහා ණය ගන්නවා වෙනුවට රාජ්‍ය ආයතන හරහා ණය ලබාගෙන සමස්ත ණය ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩු කරලා පෙන්නුවා. රවීලා අද ඒක අලුතින් හොයාගත්ත දෙයක් වගේ කෑ ගහනවා. ඒනිසා රනිල්ලට, රවීලට ඒ ගැන කියලා ජනතාව මත බදු බර පටවන්න ඉඩ දෙන්න බැහැ. මැතිවරණය කාලයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරන්න ඕනෑ.

මේ ආණ්ඩුවටත් ආර්ථික අර්බුදයට ඇත්ත උත්තර නැහැ. බැරි බැරියාවට ලක්වෙලා තිබෙන මේ ආර්ථික මොඩලයම කර පින්නාගෙන ගිහින් රට ගොඩ ගන්න බැරි බව එජාපය, ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුවත් ඔප්පු කරමින් ඉන්නවා. ඒ නිසා අපේ රටට විකල්ප ආර්ථික ක‍්‍රමයක් ඕනෑ. ඒ වෙනුවට ආණ්ඩුව පැලැස්තර විසඳුම් හොයමින් ඉන්නවා. ඒ නිසා තමයි එට්කා වගේ ගිවිසුම් අත්සන් කරන්න හදන්නේ. මේ ගිවිසුම් හරහා තව තවත් රටේ ආර්ථිකය ඇද වැටෙන එක විතරයි සිදු වෙන්නේ. මීට කලින් අත්සන් කරපු ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම නිසා ලංකාවට නරක ප‍්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවුණා. එම ගිවිසුමෙනුත් වාසි අත්වුණේ ඉන්දියාවට පමණයි. දැන් එට්කා හරහා තවදුරටත් අපේ රට සේවා සඳහා විවෘත කරන්න හදනවා. ඉහළ වෘත්තිකයන්ගේ සිට පෙදරේරුවන් දක්වා අපේ රටේ රැකියා අවස්ථා ඉන්දියාවට විවෘත වෙනවා. විශාල විරැකියාවක් තිබෙන ඉන්දියාවට අපේ රටේ රැකියා වෙළඳපොළ විවෘත කිරීම නිසා ඉදිරියේදී අපේ රට විශාල ආර්ථික අර්බුදයකට ලක්වෙන එක වළක්වන්න පුළුවන්කමක් නැහැ."
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment