විවාහය කියන්නේ සරල දෙයක් නෙමෙයි ශාලිකා එදිරිසිංහ

කලින් කල පුංචි තිරයේ මෙන්ම රිදී තිරයෙන් ඔබ වසඟයට පත් කරන තරු අතර ඇයත් එක් තාරකාවක්. ඉතින් මේ තරුවේ අලුත් තොරතුරු දැන ගන්න අප ඇය හමු වුණා. ඇය ශාලිකා එදිරිසිංහයි.

ශාලිකා මේ දවස් වල කාර්යබහුල වෙලා නේද?

ඔව්. 'මිදුම් කළුවර', 'ආදර අසපුව', 'ඉද්දලයා' වැනි නව නිර්මාණ කිහිපයකම මේ දිනවල වැඩකටයුතු කෙ‍රී ගෙන යනවා. මේ දැණුත් කොමර්ෂල් එකක රූ ගත කිරීම් ඉවර වුණා විතරයි.

කාලෙකට පේන්න ඉඳලා කාලෙකට අතුරුදන් වෙන්නේ මොකද?

ඒ ඉතින් නාට්‍ය විකාශය වෙන පිළිවෙළ අනුවනේ. ටෙලි නාට්‍ය නොකර හිටපු කාලෙකුත් තිබුණා. හැබැයි ඔන්න මේ දවස් වල නම් අතුරුදන් වෙලා නැහැ.

ඉතින් ඔහොම සැරින් සැරේ නොපෙනි ගිහින් ප්‍රෙක්ෂකයන්ට අමතක වේවිද දන්නේ නැහැ?

එහෙම වෙන එකක් නැහැ. මොකද අපි හැමෝටම වෙන් වුණ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ඒ මතකයේ මම හැමදාමත් ඉන්නවා. ඒ ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් නොඅඩුව ලැබෙනවා.

අඩුවක් නැතිව ලැබෙන්නේ ප්‍රෙක්ෂක ආදරය විතරද?

අම්මාගේ ආදරේ නම් දරා ගන්න බැරි තරම්... ඒ හැරුණම තාත්තාගෙන් වගේම සහෝදර සහෝදරියන්ගෙනුත්ආදරය නම් නොඅඩුව ලැබෙනවා..

අපි ඇහුවේ ගෙදරින් ලැබෙන ආදරේ ගැන නෙමෙයි?

හ්ම්ම්... මම ආදරය කරලා තියෙනවා. නමුත් ඒ ආදරේ කරන පෙම්වතාම ජීවන සහකරු වෙයි කියලා අපිට ස්ථීරව කියන්න බැහැනේ. විවාහය කියන්නේ සරල දෙයක් නෙමෙයි. විවාහයට තෝර ගන්න සහකරු සමඟ අපි ජිවිත කාලයම ගත කළ යුතුයි. ඔහුගෙන් ආදරය නිසි රැකවරණය ලැබිය යුතුයි. ජිවිතය පිළිබඳ අවබෝධය වගේම දරුවන්ට හොඳ තාත්තා කෙනක් විය යුතුයි. දැන් විවාහ වෙන වයසේ අපි හිටියා කියලා ඒ සියලු ගුණාංග වලින් පිරිපුන් කෙනෙක් සොයන එක ලෙහෙසි පහසු කර්තව්‍යයක් නෙමෙයි.

දැන් යෝජනා එහෙම එන්නේ නැතිද?

විවාහ යෝජනා නම් හොයාගෙන එනවා. නමුත් ඒක හැඟිම් වලට පමණක් සීමා වෙලා ගත යුතු තීරණයක් නෙමෙයිනේ.

චරිත නොලැබෙන කොට විකට චරිත වලත් රඟපානවා යැයි සමහරු කියනවා?

රංගන ශිල්පිනියකට ඕනෑම චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඉතින් විකට චරිත නිරූපණය කියන්නෙත් තවත් එක් දක්ෂතාවක්. මනුස්සයෙක් හිනැස්සිම ලේසි පහසු වැඩක් නෙමෙයි නේ.

ඒ කියන්නේ ශාලිකාට ලැබෙන ඕනෑම චරිතයක් බාර ගන්න සූදානම්?

ඕනෑම චරිතයක් කියලා අපේ සංස්කෘතිය, ආගම සහ මේ සමාජයට නොගැළපෙන චරිතයක් බාර ගන්න මගේ සුදානමක් නැහැ. සමාජයට අනුගතව යම් පණිවුඩයක් දිය හැකි චරිතයක් කරන්න ලැබීමත් පිනක්.

එහෙම දැණුන චරිතයක් මෙතෙක් ශාලිකාට ලැබී තිබෙනවාද?

මැතකදී විකාශය වූ 'ඉහිරුණු කිරි' ටෙලි නාට්‍යයේ 'පොඩ්ඩි' රටටම දැණුන චරිතයක්.

රටට දැණුන කිව්වට සම්මානයක් ලබන්න තරම් දැණිලා නැහැ වගේයි?

කිහිප වතාවකම ජනප්‍රිය නිළිය ඇතුළු සම්මාන කිහිපයකටම යෝජනා වුණා. නමුත් ලැබුණේ නැහැ කියලා දුක් වෙන්නේ නැහැ.. මට ලැබිය යුතු ඉහළම ප්‍රතිචාරය ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙනවා.

ශාලිකා හීන දැක්කේ රංගනයට නෙමෙයි නේද?

ඔව්. කාලවට මං පොඩි කාලේ ඉඳලම ආදරේ කළත් මගේ හීනේ වුණේ නර්තන ගුරුවරියක් වෙන්න. නමුත් අහම්බෙන් නිළියක් වුණා.

දිගටම රංගන ක්ෂේත්‍රයේ රැදෙන්න ලැබේවිද?

මං ගොඩක් දුර හිතන කෙනෙක් නෙමෙයි. හැම දේ ගැනම මධ්‍යස්ත වීම හොඳයි. ඉතින් අපේ කාලෙත් එක්ක වෙනස් චරිත වලින් දිගටම රැඳී ඉඳිවී යැයි හිතනවා‍.

(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment