කවි ලියන්න වගේම රඟපාලා ජනප්‍රිය වෙන්නත් මට ආසාවක් තිබුණා – රෝහිත රාජපක්ෂ



රෝහිත රාජපක්ෂ නම මතෛක් හඳුනාගෙන තිබුණේ ‍පොඩි රාජපක්ෂ තුන්කට්ටුවේ ළාබාලතම සාමාජිකයා හැටියට.එහෙම නැත්නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතණුවන් හැටියට. මේ අතරේ අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳව උන්නදුවක් දක්වන තරුණයෙක් හැටියටත් ඔහු ප්‍රසිද්ධ වුණා. මෙවර රෝහිත කරළියට එන්නේ වෙනස්ම ක්ෂේත්‍රයකින්.

ඔබ ගයන මංමුලාවෙලා ගීතය එක රැයක් තුළ ලක්ෂ ගණනක් නැරඹූ වීඩියෝවක් බවට පත්වෙලා?
ඔව්. ඒ ගැන මට ලොකුම සතුටක් දැනෙනවා.

ගීතයක් ගැයීමේ අත්දැකීම ඔබට අලුත් එකක් බව ස්ථිරයි?
එහෙම කියන්නත් බැහැ. පුංචි කා‍ලේ පටන්ම සංගීතය, කලාව එක්ක අප හැදුනේ වැඩුණේ. මගේම ගීතයක් එළිදැක්වූයේ නැති වුණාට මම ඕනෑතරම් ගීත ගායනා කරලා තියෙනවා. විශේෂයෙන්ම මගේ යාළුවන්ගේ විවාහ මංගල උත්සවවලදී.

සංගීතයට අත්‍පොත තබපු හැටි මතක් කළොත්?
ඉස්කෝ‍ලේ යන කාලෙදි මම පියානෝ වාදනය ඉගෙන ගෙන තියෙනවා. ඊට අමතරව ඉස්කෝ‍ලේ සංගීත ප්‍රසංගවල ‍පොඩි ‍පොඩි ඉදිරිපත්කිරීම් කරලා තියෙනවා. ඒත් විෂයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියේදී නම් මම හැදෑරුවේ චිත්‍ර විෂය. ඒ වගේම මම ගිටාර් වාදනයත් හදාරලා තියෙනවා.

සංගීතයේදී ඔබේ ගුරුවරු වුණේ කවුද?
පාස‍ලේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තා. ඒත් මම ගිටාර් වාදනය ඉගෙන ගත්තේ තනියම. අන්තර්ජාලයේ යූ. ටියුබ් වීඩියෝ බලාගෙන ඒ පාඩම් හැදෑරුවා.

මේ සිංදුව හරහා රෝහිත ගීපද රචකයෙක් විදියටත් මතුවෙනවා?
ඔව්. කවි ලිවීම මට අලුත් දෙයක් නමෛයි. සිංහල භාෂාවෙන් නම් ගැඹුරු දේවල් ලියන්න මට අමාරුයි. මම ඉංග්‍රීසි භාෂාවෙන් නිතර කවි ලියන කෙනෙක්. ඉංග්‍රීසි කවි ‍පොතක් එළිදක්වන්න බලා‍පොරොත්තුවක් මට තිබුණා. ඒ වගේම රඟපාලා ජනප්‍රිය වෙන්නත් ආසාවක් තිබුණා. ඒත් ඒ කාලය මදිවීම නිසා තමයි ඒ දේවල් මට කරන්න බැරිවුණේ.

චිත්‍ර ශිල්පයත් හදාරපු බව ඔබ කිව්වා?
ඔව්. මම පුංචි කා‍ලේ චිත්‍ර ඇඳලා චිත්‍ර ප්‍රදර්ශන කීපයක්ම පැවැත්වූවා. ඒත් නොහිතපු විදිහට මගේ චිත්‍ර ගුරුතුමිය අන්ත්‍රා වුණා. ඊට පස්සේ චිත්‍ර ප්‍රදර්ශන කිරීම නතර කෙරුණා.

රෝහිත දැන් චිත්‍ර අඳින්නේ නැද්ද?
මෑතක මම ඇඳපු චිත්‍ර ගොඩක් තිබුණා. තාත්තා ජනාධිපතිවරණයන් පරාජය වුණු වෙලාවේ පැය කිහිපයක් ඇතුළත අපට ජනාධිපති මන්දිරයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. අපි ඇඳුම් සහ අත්‍යවශ්‍යම භාණ්ඩ කිහිපයක් විතරක් අරගෙන එළියට ආවේ. මගේ චිත්‍ර ටික ජනාධිපති මන්දිරයේ දාලා එන්න සිද්ධ වුණා. තවම අපට ඒවා ඒ අය දුන්නේ නෑ.

ඒ මොන මාධ්‍යයේ ඇඳපු චිත්‍රද?
කැන්වස්වල කරපු තෙල් සායම් චිත්‍ර

රෝහිත ඇයි මුල්ම ගායනය විදිහට විරහ ගීයක් කළේ?
විරහව විතරක් නමෛයි මේ ගීයේ තියෙන්නේ. මංමුලාවෙලා දුකින් ඉන්න කෙනෙක් ලස්සන කෙල්ලක් දැකලා වශීවෙන හැටි. හුඟක් අයට එහෙම තමයි. කසාද බඳින්න වෙන්නේ පළමු ආදරය නමෛයි.

ඉදිරියේදී දිගටම සංගීත නිර්මාණය කරනවාද?
ඔව්. මේ ගීයේ දෙවැනි කොටස එළිදක්වන්න ඕන. දෙවැනි කොටසෙදි කියන්න ඉන්නේ අර ලස්සන කෙල්ලව ලබාගැනීමේ සතුට ගැන. ඒකේ පද රචනය දැනටමත් අවසානයි.

ඒ වගේම සිංහල, දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ගීත ගයන්න ආශාවක් තියෙනවා. තාත්තා ඉල්ලීමක් කළා සිංහල – දෙමළ සමගිය ගැන සිංදුවක් කරන්න කියලා. එතුමාගේ ඉල්ලීමත් ඉෂ්ට කරන්න ඕන.

රෝහිතට දෙමළ භාෂාව පුළුවන්ද?
පුළුවන්. ‍පොඩි කා‍ලේ ඉඳලම දෙමළ වචන කනට ඇහිලා දෙමළ හොඳට පුළුවන්.
අපේ තාත්තා මහින්ද රාජපක්ෂ මැතිතුමා බලන්නේ දෙමළ චිත්‍රපට විතරයි. මං හිතන්නේ දෙමළ චිත්‍රපට විතරක් බලන එකම ජන නායකයා එතුමා වෙන්න ඇති.

rohitha (2)

ඔබට චිචී කියන සුරතල් නාමය පටබැඳුණු හැටි ගැනත් කියමු?
යෝෂිත අයියා පුංචි කා‍ලේ උපන්දින සාදයකට ගිහින් මොනවා හරි කෑමක් සාක්කුවේ දාගෙන තියෙනවා. ඇයි එහෙම කළේ කියලා අපේ නැන්දා කෙනෙක් ඇහුවාම යෝෂිත අයියා කීවාලු චිචීට දෙන්න කියලා. චිචී කියන්නේ චූටි කියන තේරුමෙන් එයා කීව නම. එදා ඉඳන් මගේ නම වුණේ චිචී

මේ වැඩ අතරේ රෝහිත ගගනගාමියා වීමේ සිහිනය අතඇරලද?
නෑ නෑ මම දැනටමත් පරිපථ ඉංජිනේරුවරයෙක් විදියට රැකියාවේ නිරත වෙලා ඉන්නවා.

අධ්‍යාපන කටයුතු කොහොමද?
කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයට අනුබද්ධව මම ආචාර්ය උපාධිය හදාරනවා. මේ අප්‍රියෙල් මාසයේදී මම ආචාර්ය උපාධියේ අවසාන නිබන්ධනය භාර දෙනවා. ව්‍යාපාර පරිපාලනය ගැනත් තවත් උපාධියක් හදාරනවා.

රෝහිත ආඩම්බරකාරයෙක් නේද?
ඒ ප්‍රශ්නය මගෙන් අහලා වැඩක් නෑ. මගේ ගැන දන්න අය දන්නවා. ඒ අයගෙන් ඇහුවොත් කියාවි මම ආඩම්බරද නැද්ද කියලා.

කැමතිම ගායකයා කවුද කියලා මම ඇහුවොත්?
රූකාන්තට මම කැමතියි. ශිහාන්ට කැමතියි. රොමේෂ් සුගතපාලට සහ සංගීත් විජේසූරියටත් ආසයි.

රෝහිත ඒ අයගේ රසිකයෙක් බව ඒ ගොල්ලෝ දන්නවාද?
මම නම් එහෙම කියලා නෑ තවම.

ඉදිරියේදී දේශපාලනයට එනවාද?
මම හිතන්නේ නෑ. හරි දෙයට වඩා විකෘති දේවල් කරනවා දකිනකොට හිත කැලඹෙනවා

හිතේ කැලඹීම නැතිකර ගන්න මේ රට දාලා යාවිද?
ඔව්. වැඩිකල් මෙහෙ ඉන්න එකක් නෑ.

පෙම්වතිය ගැනත් වචනයක් කතා නොකළොත් ඒක ලොකු අඩුවක්?
එයා ගැන ඉතින් මොනවද පත්තරේට කියන්නේ. අවුරුදු අටක් තිස්සේ ඒ සම්බන්ධකම තියෙනවා. පෙම්වතියට අමතරව එයා මට හොඳම යාළුවෙක් වෙලා ඉන්නවා.

අපේ අම්මට තාත්තට තමන්ගේම දුවක් වගේ එයා.

ගීතය ගැන එයා මොනවද කිව්වේ?
සතුටු වුණා. ගායකයෙක් විදියට මම ජනප්‍රිය වෙද්දී වෙන කෙනෙක් ගැන හිත වැටෙයි කියලා එයාගේ යාළුවෝ එයාට විහිළුත් කරනවලු. ඒත් මට එයාට වඩා හොඳ කෙනෙක් හොයා ගන්න බෑ කියලා එයා හරි ආඩම්බරෙන් කියනවා.

ප්‍රේම සම්බන්ධය නැවතුණු දුකට රෝහිත ඒ ගීතය කළා කියලා පැතිරුණු කටකතාව ගැන දැනුවත්ද?
ඔව්. මම වගේම එයත් ඒවා අපේ ජීවිතවලට අදාළ කරගත්තේ නෑ. සිංදුවක් කියන්නේ පුංචි රඟපෑමක් වගේ ඉදිරිපත් කිරීම් කියලා අපි දෙන්නම දන්නවා.

අවසාන වශයෙන් කාටද ස්තූති කරන්නේ?
පසන් ලියනගේ, මෙවන් ලියනගේ, ජගනා ක්‍රිෂ්ණකුමාර්, ඔෂාන් ද සිල්වා, රිසී මීඩින් කියන මගේ යාළුවන්ට ස්තූතියි කියලා ලියන්න.


(සරසවිය පුවත්පත ඇසුරෙනි)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment