කැබිනට් එකේ පූස් පැටව් වගේ හිටියා - ලැජ්ජ නැති සත්ව කොට්ඨාසයක්

රාජපක්ෂලා වැඩි පොලියට ණය ගනිද්දී කැබිනට් එකේ පූස් පැටව් වගේ හිටපු ඒකාබද්ධ විපක්ෂයේ මහත්වරුන්ට ආර්ථිකේ බිඳවැටීම ගැන කතා කිරීමට අයිතියක් නැතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ  ඔවුන් හරියට ලැජ්ජාවක් නැති සත්ව කොට්ඨාසයක් වගේ යනුවෙනි.

ඉතිහාසය ගැන සමාලෝචනයක් ඇතිව ඉදිරියට යා හැක්කේ ලැජ්ජාවක් ඇති මිනිසුන්ට පමණක් බවද පැවසූ මන්ත්‍රීවරයා එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව බලයට පත්වී මාස 14ක කාලයක් ගත වනවිට රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ඇද දමා ජනතාව මත බදුබර පටවා ඇතැයිද චෝදනා කළේය.

එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද කීවේය.


“වර්තමාන අගමැතිවරයා මුදල් ඇමතිවරයා හා ජනාධිපතිවරයා පත්වී මාස 14ක කාලයක් ගතවී තිබෙනවා. දින 100 ආණ්ඩුව කාලයේ මිනි බජට් එක කියලා අතුරු අයවැයක් ගෙනාවා. පසුගිය නොවැ. 05වැනිදා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය‘මධ්‍යකාලීන ආර්ථික සැලැස්ම’කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් පස්සෙ රවී කරුණානායක මුදල් ඇමතිවරයා විසින් 2016 සඳහා අයවැයක් ඉදිරිපත් කළා. ඉන් අනතුරුව තෙවැනි වර කියවීමේ අවස්ථාව වනවිට මුදල් ඇමතිවරයාගේ මුල් අයවැය විශාල වෙනස්කම්වලට භාජනය කෙරුණා. ඒ මොහොතේ කාටූන් ඇන්දා, රවීගේ අයවැයේ ඉතිරි වුණේ ‘ගරු කථානායකතුමනි’කියන කෑල්ල විතරයි කියලා. දෙසැම්බර් මාසයේ මෙම අයවැය සම්මත වුණේ, යෝජනා ගණනාවක් කප්පාදුවීමෙන් අනතුරුවයි. මාස 03ක් ගතවීමටත් පෙර පසුගිය අඟහරුවාදා රනිල් වික‍්‍රමසිංහ විසින් ඊට පරිබාහිරව තවත් යෝජනා ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගෙනාවා.

ආර්ථිකයේ මහ ලොකු ඔස්තාර්ලා කියපු, එජාප ආණ්ඩුවක් ආවාම සාක්කු පිරෙනවා කියපු, ආර්ථිකයේ පිමි පනිනවා කියපු මිත්‍යා මතය දැන් බිඳවැටී තබෙනවා. මහ ලොකුවට පම්පෝරි ගහපු මේ ආර්ථික විශේෂඥයින්ට මාස 03කට කලින් ආර්ථිකය පුරෝකථනය කරන්න බැරිවෙලා තිබෙනවා. දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කළ අයවැය මාස 03කින් වෙනස් කරනවා. ඒකෙන්ම පේනවා මේ ආණ්ඩුවේ ආර්ථික දැක්ම මොකක්ද කියලා. අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව බදු හරහා ජනතාව විශාල පීඩාවකට පත් කරමින් ඉන්නවා. පසුගිය අයවැයේදී භාණ්ඩ සඳහා 08%කුත් සේවා සඳහා 12.5%කුත් වශයෙන් වැට් බද්ද නියම කළා. පසුගියදා අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව 08% හා 12.5% ලෙස තිබූ භාණ්ඩ හා සේවා සඳහා වැට් බද්ද 15%ක් දක්වා වැඩිකළා. මේ අනුව භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල ලෙස ඉහළ යනවා. අපේ රටේ පෞද්ගලික අංශය දක්වා ප‍්‍රසාරණය වී තිබෙන සෞඛ්‍ය, අධ්‍යාපන වැනි සේවාවල පවා මිල ඉහළ යනවා. මේ ආකාරයෙන් රටේ දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් කප්පාදු කරන්න ආණ්ඩුව කටයුතු කරනවා.

එමෙන්ම ජාතිය ගොඩනැගීමේ බද්ද පිරිවැටුම අනුව අයකරනවා. මෙම පිරිවැටුමේ සීමාව අයවැයෙන් ඉදිරිපත් කර තිබුණේ කාර්තුවකට ලක්ෂ 37.5ක් ලෙසයි. නමුත් අගමැතිවරයාගේ යෝජනාවට අනුව එම පිරිවැටුමේ සීමාව ලක්ෂ 30 දක්වා පහතට ගේනවා. දින 90කට ලක්ෂ 30ක් කියන්නේ දිනකට රු. 33,000ක් වගේ අගයක්. ඒ කියන්නේ සාමාන්‍ය කඬේකට පවා මෙම බද්ද ගෙවීමට සිදුවනවා. ඒ අනුව මෙම බද්ද කුඩා පරිමාණ ව්‍යාපාරයක් දක්වා ප‍්‍රසාරණය කොට තිබෙනවා. මේ හේතුවෙන් මේ බදු සාමාන්‍ය ජනතාවට ලොකු බලපෑමක් කරනවා. අගමැතිවරයා කිවුවෙ ධනපතියන්ගේ ප‍්‍රග්ධනයට බදු වැඩි කරලා ඔවුන්ගෙන් අයකරගන්නවා කියලා. නමුත් මේකෙන් පෙන්වන්නේ ආණ්ඩුවේ අර්බුදයේ තරමයි. මොකද රනිල් වික‍්‍රමසිංහලාට ධනපතියන්ගෙන් අයකරගන්න ඇත්ත වුවමනාවක් නැහැ. මෙම ආර්ථික අර්බුදයේ බලපෑම ජනතාවට දැනෙන එක වළක්වන්න මේ ආණ්ඩුවට බැහැ.

පසුගිය අයවැයේදී ඉදිරිපත් වුණේ ආණ්ඩුව රු. බිලියන 8475ක ණය ලබාගෙන තිබෙන බවයි. නමුත් ඒ වෙලාවේ හොයාගන්න බැරිවුණු ණය ලෙස තවත් රු. 1042ක් තිබෙන බව රනිල් වික‍්‍රමසිංහ කියනවා. ආණ්ඩුව අයවැය ඉදිරිපත් කරන වෙලාවේ තිබුණු ණය ප‍්‍රමාණය ඇත්ත එක නෙමෙයි කියලා රනිල් පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ණය ප‍්‍රමාණය රු. බිලියන 10,500ක් දක්වා වැඩිවෙන්න පුළුවන් කියලා ආණ්ඩුව කියනවා. ඒ කියන්නේ අපේ රටේ ජනතාව රු. බිලියන 10,500ක ණයකාරයන් බවට පත් කරලා. ඇත්ත ණය ප‍්‍රමාණය දන්නෙ නෑ කියන රනිල් වික‍්‍රමසිංහගේ කථාව පට්ටපල් බොරුවක්. රනිල් වික‍්‍රමසිංහ පහුගිය කාලයේ හිටියේ අරලියගහ මන්දිරය ඇතුළෙ විතරද? රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගැනීම ගැන අපි  ඕනෑතරම් කථාකරලා තියෙනවා. රාජපක්ෂ ආණ්ඩුව කාලේ භාණ්ඩාගාරය හා වෙනත් ආයතන මගින් ණය ලබාගත්තා. රාජපක්ෂලා පෙන්නුවේ භාණ්ඩාගාරය මගින් ලබාගත් ණය පමණයි. තෙල් සංස්ථාව, එයර්ලංකා, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ගත් ණය වහලා තිබුණා. මේක අලූත් කථාවක් නෙමෙයි. රනිල්ගේ සූර සොයාගැනීමක් නෙමෙයි. මෙය බදු ගහපු එක වහගන්න ගොතන කථාවක් පමණයි.

ඒ විතරක් නෙමෙයි, රනිල් වික‍්‍රමසිංහ කියනවා, අපේ රටේ හැංඟිලා තියෙන ණය ගැන හොයන්න අයිඑම්එෆ් එකෙන් උපදෙස් ගන්නවා කියලා. අපේ රටේ ආයතනවලින් ගත් ණය ගැන හොයන්න අයිඑම්එෆ් එකේ උපදෙස් මොකටද? එම ආයතන භාර කැබිනට් ඇමතිවරුන් හරහා මේ ණය ප‍්‍රමාණය හොයාගන්න පුළුවන්. තෙල් සංස්ථාව, එයර්ලංකා, සීටීබී, විදුලි යන ආයතන කොයිතරම් ප‍්‍රමාණයක් ණය වෙලා තියෙනවද කියලා හොයාගන්න බැරිකමක් නැහැ. පසුගිය කාලයේ රජපක්ෂලා සෙල්ලමක් කළා. තෙල් සංස්ථාව, එයර්ලංකා වැනි ආයතන මගින් ගත් ණය එම සමාගම්වල ආදායමක් හැටියට පෙන්වූවා. ඒ මගින් රාජපක්ෂලා රටේ ඇත්ත ණය ප‍්‍රමාණය වහලා ආදායම වැඩිකරලා පෙන්නුවා. රනිල් වික‍්‍රමසිංහ ඒක දන්නෙ මේ ඊයෙ පෙරෙයිදා කියලා කියනවානම් ඔහු දේශපාලනය අත්හැරිය යුතුයි.

අගමැතිවරයා ලෝක ආර්ථික අවපාතය ගැනත් අනතුරු අඟවනවා. පසුගියදා රැස්වූ ජී 20 සමුළුවේදී ලෝක ආර්ථික අර්බුදයක් තිබෙන බවත් ලෝකයේ ආර්ථික වර්ධන වේගය පහත වැටෙන බවත් එම සමුළුව ප‍්‍රකාශ කළ බව රනිල් වික‍්‍රමසිංහ කියනවා. ලෝක ආර්ථික ආර්බුදය දැන් රනිල් වික‍්‍රමසිංහට අරුම පුදුම දෙයක් වුණාට ඒක ජවිපෙට පුදුමයක් නෙමෙයි. අපිට ඒ ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. 2008දී ඇ.එ.ජ. ඇතිවුණු ආර්ථික අවපාතය යුරෝපය දක්වා පැතිරෙනකොට අපි ඒ අනතුර ගැන කථා කළා. ඒ වෙලාවෙත් ගෝලීයකරණය වෙනුවෙන් පෙනීසිටි රනිල්ලා දැන් ලෝක ආර්ථික අර්බුදයක් ගැන කථාකරනවා. තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තියේ නොහැකියාව වහගන්න අද රනිල් වික‍්‍රමසිංහලා එක එක තාප්ප පිටුපස්සෙ හැංගෙන්න හදනවා. එක පැත්තකින් ණය තාප්පෙට මුවා වෙනවා. තව පැත්තකින් ලෝක ආර්ථික අර්බුදය කියන තාප්පයට මුවා වෙන්න හදනවා.

ජනතා විමුක්ති පෙරමුණේ අපි මැතිවරණ කාලවලදී පක්ෂ සමුළුවලදී  ඕනෑ තරම් පෙන්වා දී තිබෙනවා, මේ ආර්ථික ප‍්‍රතිපත්තිවලට අපේ රට අඟලක් හෝ ඉදිරියට ගෙනියන්න බැහැ කියලා. අපි ඒ හැම අවස්ථාවකදීම අපේ විකල්ප ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා. මේ ඇස් ඉදිරිපිට පෙන්වමින් තිබෙන්නේ වසර 68ක් පුරා මේ ආණ්ඩුවල ආර්ථික ප‍්‍රතිපත්තිවල නොහැකියාව නෙමෙයිද? මහින්ද, රනිල්, චන්ද්‍රිකා, ජේ.ආර් මේ සියලූ දෙනා අනුගමනය කළේ එකම ආර්ථික ප‍්‍රතිපත්තියක්. වෙනස් වුණේ ඇඳුමෙන්, භාෂාවෙන්, ක‍්‍රියාකාරිත්වයෙන් පමණයි. මහින්ද සිංහලෙන් ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන කොට රනිල් ඉංග‍්‍රීසියෙන් ඒ දේම කළා. මහින්ද ජාතික ඇඳුම ඇඳගෙන ඒ ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරනකොට රනිල් යුරෝපීය ඇඳුම ඇඳගෙන ඒ වැඬේ කළා. චන්ද්‍රිකා ඔසරිය ඇඳගෙන ඒ දේම කළා. පසුගිය අවුරුදු 68ක්ම ක‍්‍රියාත්මක වුණේ එකම ආර්ථික ප‍්‍රතිපත්තිය.

ඒ නිසා තමයි අපි ජනතාවට කිවුවෙ විකල්පයක්  ඕනෑ කියලා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය වෙලාවේ අපි පැහැදිලිව කිවුවා, රනිල්-මෛත‍්‍රී ආණ්ඩුවත් ගෙනියන්නේ මේ ආර්ථික ප‍්‍රතිපත්තියමයි කියලා. නමුත් ජනතාව හිතුවා, රනිල් වික‍්‍රමසිංහ ළඟ මැජික් පොල්ලක් තියෙනවා කියලා. මැජික් පොල්ල කරකවලා ආර්ථිකේ ගොඩගනී කියලා ජනතාව හිතුවා. මේ පක්ෂ දෙකටම තිබෙන්නේ, එකම ආර්ථික පිළිවෙතක්. හරියට ඩොල්කියේ ජිල් එකයි, බුම් එකයි වගේ. අවුරුදු 68ක්ම එකම පදය ගැහුවා. අද ප‍්‍රතිඵලය මොකද්ද?. රටක් විදිහට අපි ගත්ත ණය ප‍්‍රමාණය හොයාගන්න බැහැ කියලා මේ පාලකයො කියනවා. මේ පාලකයෝ ලැජ්ජා විය යුතුයි. ගෙදරක ස්වාමියා බිරිඳට කියනවානම් තමන් ගත්ත ණය ප‍්‍රමාණය දන්නෙ නැහැ කියලා, බිරිඳ ස්වාමියාව එළවා දානවා. අද අපේ රටටත් වෙලා තියෙන්නෙ ඒ දේ. රටේ ණය ගැන හොයන්න අයිඑම්එෆ් එකේ පිහිට පතන්න පාලකයින්ට සිදුවෙලා. රනිල්, මහින්ද, චන්ද්‍රිකා, ජේ.ආර්. මේ රට හෙළා තිබෙන අනතුරේ වගකීමෙන් මිදෙන්න ඔවුන්ට බැහැ. අපේ රටේ සෑම පුරවැසියෙක්ම ලක්ෂ 05ක ණයකාරයයෙක් බවට පත් කර තිබෙන්නේ ඔවුන්ගේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසයි.

මේ වසරේදී ණය පොලී වාරිකය පමණක් රු. බිලියන 1209ක් ගෙවිය යුතුව තිබෙනවා. රටේ ආදායමට සමාන ණය පොලී වාරිකයක් ගෙවන්න සිදුවෙලා තිබෙනවානම් මේ පාලකයින් අපේ රටට සිදුකර තිබෙන්නේ කුමක්ද? අපේ රට බංකොලොත් රටක් කර නැද්ද? මේ කළ අපරාධය වෙනුවෙන්, විනාශය වෙනුවෙන් රනිල්ලා, මහින්දලා ජනතාවගෙන් සමාව ගත යුතු නැද්ද? මේ රටට කළ විනාශයෙන් තවත් වසර ගණනාවක් ගතවූ පසුවත් ගොඩඑන්න බැරිවෙනවා. නූපන් දරු පරම්පරාවන්ට පවා මේ ආර්ථික ව්‍යසනයේ බලපෑමට මුහුණ දෙන්න සිදුවෙනවා.

මේ තරම් ආර්ථික අර්බුදයක් ඇති කළ බංකොලොත් ධනපති ආර්ථික ක‍්‍රමයට තවදුරටත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව ගත යුතු ක‍්‍රියාමාර්ග 02ක් තියෙනවා. පළමුවෙන්ම කළ යුත්තේ රනිල් - මෛත‍්‍රී ආණ්ඩුවෙන් ජනතාව මත පටවා තිබෙන ආර්ථික පීඩනයට එරෙහිව සටන් කිරීමයි. අපේ රට රු. බිලියන 10,500ක් ණය කිරීමේ වගකීම ජනතාව භාරගත යුතු නැහැ. එයට වගකිව යුත්තේ, මේ රටේ පාලකයින්. ඒ නිසා ඒ පාලකයින්ට එරෙහිව ජනතාව ඉදිරියට ආ යුතුයි. එම පාලකයින්ගේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිවිපාක ජනතාව භුක්ති විඳිය යුතු නැහැ. තමන් කිසිසේත්ම සම්මාදම් නොවූ ව්‍යසනයකට ජනතාව මුහුණ දිය යුතු නැහැ.

එපමණක් නෙමෙයි. විකල්ප ආර්ථික ක‍්‍රමයක අවශ්‍යතාව තවදුරටත් ජනතාවගේ ඔළුවට, බඩට ඇණලා පෙන්වන්න  ඕනෙ නැහැ. මේ ආර්ථික ක‍්‍රමයේ නොහැකියාව එදිනෙදා පෙන්වමින් තිබෙනවා. තවත් ඉදිරි පරම්පරාවකට මේ ව්‍යසනයට ලක්වීමට ඉඩදෙනවාද කියලා ජනතාව තේරුම් ගත යුතුයි. ඒ නිසා අපි ජනතාවට කියනවා, පෙරට එන්න කියලා. එජාපය වෙනම, ශ‍්‍රීලනිපය වෙනම, රනිල් වික‍්‍රමසිංහ වෙනම, මහින්ද රාජපක්ෂ වෙනම අත්හදා බලන්න  ඕනැද? අද ජනතාවගේ වගකීම පුළුල් ජනතා බලවේගයක් ගොඩනැගීමයි. ඒ වෙනුවෙන් ජනතාවට ආරාධනා කරනවා. ඒ වගේම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා, ජනතාව වෙනුවෙන් මේ සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් ලියන්න කියලා. වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා, උපන් නූපන් දරුවන් වෙනුවෙන් වීදි බහින්න කියලා. එය මේ රටේ පුරවැසියන්ගේ වගකීමයි.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...

ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන අපි දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ‘දේශයේ හෘදසාක්ෂිය’ලෙස අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. අපේ රටට මූලිකම සාධකය වන්නේ නිෂ්පාදන ආර්ථිකයක්.  ඕනෑම රටක් තමන්ට ආවේණික ක්ෂේත‍්‍රයක් තෝරාගත යුතුයි. කුඩා වර්ග ප‍්‍රමාණයක භූමියක් තිබෙන සිංගප්පූරුව කල්පනා කළා, තමන්ගේ රට සුපර්මාර්කට් එකක් කරන්න. ඒකට හරියන විදිහට බැංකු ටික හැදුවා. ගුවන්සේවා හැදුවා. ලෝකයේ හොඳම වරාය හැදුවා. විශාල ජනගහනයක් ඉන්න චීනය මුලින්ම තෝරාගත්තේ හස්ත කර්මාන්තයයි. අනතුරුව ඔවුන් මහාපරිමාණ කර්මාන්තවලට ගියා. අපේ රට විශාල ජන ඝනත්වයක් තිබෙන රටක්. වර්ග කි.මී.01ක් තුළ 343ක් ජීවත් වෙනවා. ඒ නිසා අපිට විශාල භූමියක් නැහැ. ඒ වගේම විශාල ආර්ථික සම්පත් අපට නැහැ. රත්තරන්, රිදී, යකඩ. තුත්තනාගම් නිධි නැහැ. ඒ නිසා අපට අපට දියුණු කළ හැකි එකම දේ මානව සම්පතයි. අපේ රටට ආවේණික නිෂ්පාදනයක් හා මානව සම්පත් සම්පත් සංවර්ධනය කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. නිෂ්පාදනය වැඩිදියුණු කළ යුතුව තිබියෙදී රනිල් වික‍්‍රමසිංහලා කරන්නේ නිෂ්පාදනය බිඳවට්ටන එකයි. පොහොර සහනාධාරය කපන්නේ ඒ අනුවයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ක‍්‍රීඩා ප‍්‍රමුඛ කරගත් දියුණු මානව සම්පතක් සංවර්ධනය කිරීමේ ආර්ථික සැලැස්මකට යා යුතුයි. ජනතාව සම්බන්ධ කරගත් නිෂ්පාදන ආර්ථිකයක් හා එම ආර්ථිකයේ ප‍්‍රතිලාභ ජනතාව අතරේ බෙදී යන, ආර්ථික ක‍්‍රමයකට අවතීර්ණ විය යුතුයි. ඒකාබද්ධ විපක්ෂය කියන්නේම විහිළුවක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආර්ථිකය ගොඩනැගුවානම් ඒ ආර්ථිකය අවුරුද්දකින් බිඳවැටෙන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂලා අපේ රට ණය උගුලක හිරකළා. පසුගිය වසර 51ක් තුළ ගත්ත ණය ප‍්‍රමාණය රාජපක්ෂ අවුරුදු 05ක් තුළ ගත්තා. ජනතාවගේ මුදල් නාස්ති කළා. හොරකම් කළා. මේ ආර්ථික අර්බුදය තීව‍්‍ර කරන්න රාජපක්ෂලා කටයුතු කළා. දැන් මේ ඒකාබද්ධ විපක්ෂයේ මහත්වරු ආර්ථික අර්බුදය ගැන කථාකරනවා. රාජපක්ෂලා වැඩි පොලියට ණය ගන්නකොට කැබිනට් එකේ පූස් පැටව් වගේ හිටපු මේ මහත්වරුන්ට ආර්ථිකේ බිඳවැටීම ගැන කථාකරන්න අයිතියක් නැහැ. ඔවුන් හරියට ලැජ්ජාවක් නැති සත්ව කොට්ඨාසයක් වගෙයි. ඉතිහාසය ගැන සමාලෝචනයක් ඇතිව ඉදිරියට යා හැක්කේ ලැජ්ජාවක් ඇති මිනිසුන්ට පමණයි.

මේ රටේ දේශපාලනයේ ප‍්‍රධාන බෙදීම් දෙකක් තිබෙනවා. ප‍්‍රාග්ධන හිමිකාරිත්වය නියෝජනය කරන පංතියක් හා ශ‍්‍රමය හිමිකාරිත්වය දරන පංතිය ලෙසයි. ප‍්‍රාග්ධන හිමිකාරී පංතිය ශ‍්‍රමය මිලදී ගන්නවා. ඔවුන් ශ‍්‍රමයට හිමි මුළු වටිනාකම ගෙවන්නේ නැහැ. ශ‍්‍රමය හිමිකාරිත්වය දරන පංතියට සාධාරණ ලෙස නොගෙවා අතිරික්ත ධනයක් එකතු කරනවා. එජාපය, ශ‍්‍රීලනිපය ආරක්ෂා කරන්නේ එම ප‍්‍රාග්ධන හිමිකාරී පංතියයි. ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටින්නේ ශ‍්‍රමය හිමිකාරී පංතියේ අයිතිවාසිකම් වෙනුවෙනුයි. මේ ආණ්ඩු ක‍්‍රියාත්මක වෙන්නේ ප‍්‍රාග්ධන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි. අපි කරන්නේ ඊට එරෙහි දේශපාලනයක්. ඒ නිසා අපේ ප‍්‍රතිපත්ති එජාපයට හෝ ශ‍්‍රීලනිපය&#
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment