හතර ‍පෝයට සිල්ගන්න කෙනෙක් නෙමෙයි මං – ඉෂාරා සඳමිණි


නිවේදිකාවක, රංගන ශිල්පිනියක හැටියට විතරක් නොවෙයි ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක ලෙසිනුත් කාර්යබහුල කාලසටහනක් ගතකරන ඉෂාරා සඳමිණි රිවිසරසිය සමග කතාබහකට මුලපිරුවේ මෙහෙමයි.

ඉතිං කියන්නකෝ ඉෂාරා මොනවද මේ දිනවල වැඩකටයුතු?
මේ දවස්වල සුපුරුදු පරිදි වැඩකටයුතු කරගෙන යනවා. උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ රූගතකිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා. ඊට අමතරව ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගේ ටෙලි නාට්‍යයකත් ලකී ඩයස් මහත්මයා අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයකත් රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඒ වගේම නිවේදිකාවක් විදිහටත් වැඩකටයුතු කරගෙන යනවා.

 ඔබේ රංගනය ගැන ඔබට හැඟෙන්නේ මොනවගේ හැඟීමක්ද?
මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 4 ක් විතර වෙනවා. ගොඩක් නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒත් කරපු නිර්මාණ මිනිස්සු අතර රැඳුනා. ඒක මගේ වාසනාව.

කට කතා නිසා ජනප්‍රියවෙනවා කියලා ඔබ එක්තරා වබේ අඩවියක සඳහන් කරලා තිබුණා. ඒ කියන්නේ කටකතා පැතිරෙනවට කැමතිද?
එහෙම කැමැත්තක් නැහැ. ඒත් ඉතිං කතාවක් තියෙනවානේ ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ කියලා. මේ ක්ෂේත්‍රය විතරක් ‍නෙවෙයි මොන ක්ෂේත්‍රයේ හිටියත් කටකතා හැදෙනවා. නමක් හදාගෙන වැඩක් කරලා තියෙනවා නම් ඒ දේවල්වලට කවුරු කටකතා හැදුවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතිං වැරදි කරන අයටත් කටකතා හැදෙනවා. හොඳට වගේම නරකටත් ඒක වෙනවා. තමන් කරන කියන දේ තමන් දන්නවා නම් මම හිතන්නේ කටකතා හැදෙනවට බයවෙන්න ඕනි නැහැ.

ඒ කියන්නේ ඉෂාරා කටකතාවලදී බය නැහැ කියන එකද?
මට කවදාවත් වැරදි විදිහේ කටකතා හැදිලා නැහැ. නොදැනුවත්ව ඒ හැදෙන සමහර කටකතා මගේ ගමනට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ. මාව හඳුනන මගේ වටේ ඉන්න අය දන්නවා මම කවුද කියලා. ඒ නිසා ඒගොල්ලන්ටත් ඒවා ප්‍රශ්න ‍නෙවෙයි.

රංගන ශිල්පිනියක් විදිහට විශේෂයෙන්ම තමන්ගේ පෙනුම ගැන මොකද හිතන්නේ?
පෙනුම කියන දේ ගොඩක් වැදගත්. ඒත් පෙනුම විතරක් නොවෙයි හැකියාව වගේම වාසනාවත් තියෙන්න ඕනා. හොඳටම 100 ලස්සන වුණත් රඟපාන්න බැරි නම් වැඩිදුරක් යන්න බැහැ. ඒ වගේම ගොඩක් තැන්වලදී හැකියාව තිබුණත් වාසනාව නැතිව අවස්ථාවන් අහිමිවෙන අය ඉන්නවා. හැබැයි අනිවාර්යෙන්ම පෙනුමටත් බලපැම් කරන්න පුළුවන්.

ඔබ හිතන විදිහට ඔබට මේ තුනම පිහිටලා තියෙනවද?
ඔව්, මට මේ ගමන එන්න මේ තුනම බලපෑවා කියලා හිතනවා.

ඉෂාරා සඳමිණී කියන්නේ ධාර්මික කාන්තාවක්ද?
මම බෞද්ධ. එහෙමයි කියලා හතර ‍පෝයටම සිල්ගන්න කෙනෙක් ‍නෙවෙයි. හැමදාම පන්සල් යන්නත් පුළුවන්කමක් නැහැ. නමුත් මම මගේ ආගමට ගරුකරනවා. හැමදාම හවසට බුදුන් වඳිනවා. ආගම ජීවිතේට සම්බන්ධ කරගෙන වැඩකරන කොට ලොකු විශ්වාසයක් දැනෙනවා.

ආගම මොකක් වුණත් අනෙක් අයට කරදරයක් නැතිව හොඳින් හිටියොත් අපිට දෙයක් අනිවාර්යෙන්ම ලැබෙනවා. මොන අපලය තිබුණත් හිතේ විශ්වාසය තියාගෙන කරන දේ විශ්වාසයෙන් සාර්ථකව කළොත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

ඉෂාරා ලස්සනට ඉන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන්ද?
මම රූපය ගැන හිතනකොට කෘත්‍රිම දේවල්වලට වඩා ස්වභාවික දේට මූලිකත්වය දෙනවා. විශේෂයෙන් කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙනවා. නින්ද ව්‍යායාම් වගේ දේවල් ජීවිතයට ගොඩක් වැදගත්. ආයුර්වේදය තුළ රෝගය ඒ මොහොතේ අඩුකරනවා ‍නෙවෙයි සම්පූර්ණයෙන්ම නැති කරනවා. එනිසා එදිනෙදා ජීවිතේට වැදගත්වන දේවල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් දැනගන්න, ඉගෙනගන්න මට පුළුවන් වුණා.

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක් හැටියට ලස්සනවීම ගැන උපදෙසක් දෙන්න බැරිද?
මට කියන්න තියෙන්නේ අපි එකිනෙකාට තියෙන සම එකිනෙකට වෙනස්. එනිසා අපි පාවිච්චි කරන ආ‍ලේපනවලට වඩා ‍පොදුවේ තමන්ගේ ආහාර රටාව, ව්‍යායාම, හොඳට වතුර බොන එක සමට විතරක් ‍නෙවෙයි මුළු ඇඟටම ලස්සන වෙන්න බලපානව. ආශාවට කෘත්‍රිම ආහාර නොකා දිනපතා ආහාර වේලට උදේට ධාන්‍ය වර්ග, දවල්ට එළවළු පලා වර්ග එක්ක බතක් වගේම රෑට සැහැල්ලු ආහාරයක් ගන්න. ඒ වගේම පලතුරු කන එකත් හොඳයි.

දේශගුණයත් එක්ක දෙල්, අච්චාරු වර්ග වගේ උෂ්ණ අධික කෑම කන්න එපා. ඇඟ සිසිල් කරන සව්, තැඹිලි, ඉරමුසු වගේ දේවල් බොනවා නම් ඇඟට ගොඩක් හොඳයි. මමත් ගෙදර ඉන්න පුළුවන් හැමවෙලාවකම ඒ දේවල් කරන්න උත්සාහ කරනවා.

විවාහයත් එක්ක ජීවිතේට වුණු වෙනස කොහොමද ඔබට දැනෙන්නේ?
ඇත්තටම හොඳයි. මං විවාහ වෙලා දැන් මාස 09 ක් විතර වෙනවා. තනි පුද්ගලයෙක් විදිහට හිටියට වඩා ජීවිතය ඇත්තටම සරලයි ‍ලේසියි. එයා මට ගොඩක් උදව් කරනවා. සමහරදාට රෑ වෙනකොට මාව එක්ක යන්න එනවා.

මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක් මට ලැබිලා තියෙන්නේ. ඇත්තටම තේරුම් අරගෙන එකිනෙකාට වැඩ කරන්න බැරිනම් ප්‍රශ්න ඇතිවෙනවා. මගේ වෘත්තියත් එක්ක මට 100 ක්ම ගෘහණියක් වෙන්න බැහැ. එතකොට පෞද්ගලික කටයුතුවලදීත් මගේ ක්ෂේත්‍රයේ වැඩකටයුතුවලදීත් සහයෝගයෙන් කටයුතු කරන නිසා නිදහසේ ජීවිතය ගෙවන්න පුළුවන් වෙලා තියෙනවා.

අලුතින් විවාහ ජීවිතේට එළැඹෙන තරුණියන්ට මොනවද කියන්න තියෙන්නේ?
මට හිතෙන්නේ විවාහය ඇතුළේ අපි ආදරේ කරපු කා‍ලේ හිටියා වගේ ඉන්න බැහැ. විවාහය තුළ ගොඩක් වගකීම් තියෙනවා. අපි ගැන වගේම අනෙක් කෙනා ගැනත් බලන්න වෙනවා.

එකිනෙකා වෙනුවෙන් කාලය වෙන්කරන්න, කැපකිරීම් කරන්න අනේ‍යා්න්‍ය අවබෝධය, විශ්වාසය වගේම සහයෝගිත්වයත් තියෙන්න ඕනි. මේ හැමදේත් එක්ක එකිනෙකාට හොඳින් තේරුම් අරගෙන ජීවත් වුණොත් සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න පුළුවන්.


(සරසවිය පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment