පෞද්ගලික ඩීසල් බලාගාර තුනක් මිලට ගැනීමට රජය සැරසේ

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අවශ්‍යතාවන්ට සරිලන පරිදි පෞද්ගලික අංශයේ තාප විදුලිබලාගාර කිහිපයක් රජයට පවරා ගැනීමට සැළසුම් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ පවසනවා.

මූලික වශයෙන් එහිදී බලාගාර තුනක් මිලදී ගැනීම පිළිබඳවයි අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත්තේ.

මෙගාවොට් 100 ක ධාරිතාවක් සහිත පුත්තලමේ හෙලධනවි තාප බලාගාරය, මෙගාවොට් 100 ක ඇඹිලිපිටිය බලාගාරය සහ මෙගාවොට් 60 ක ධාරිතාව සහිත මාතර ඒස් බලාගාරය මෙලෙස හදිසි පියවරක් ලෙස රජය මගින් මිලදී ගැනීමට සැළසුම් කර ඇති බලාගාර තුනයි.

අදාළ බලාගාර මිලදීගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරි සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කළේ මෙම ඞීසල් බලාගාර පසුගිය වසරේදී මීට වඩා අඩු මිලකට මිලදීගැනීමට හැකියාව තිබූ බවයි.

එහෙත් මහජන උපයෝගීතා කොමිසම මැදිහත් නොවීම නිසා එය සිදුකළ නොහැකිවූ බව ඔහු සඳහන් කළා.

එමෙන්ම තාක්ෂණික හේතූන් මත ඇඹිලිපිටිය බලාගාරය මිලදීගැනීම තම සංගමය නිර්දේශ නොකරන බවත් ඔහු කියා සිටියා.

ඉදිරියේ ඇතිවිය හැකි නියං තත්ත්වයකදී ජල විදුලි නිෂ්පාදනය අඩාල වූ විට එවැනි බලාගාර ජාතික පද්ධතියේ සැපයුම් අඛණ්ඩව පවත්වාගැනීමට වැදගත් වන බවයි ඉංජිනේරු සංගම් සභාපති අතුල වන්නිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.


 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment