සීපා ගිවිසුම එට්කා ගිවිසුමට වඩා ප්‍රබලයි

යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවන්ට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි කේ සිංහා ඊයේ පිළිතුරු ලබාදුන්නා.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා කියා සිටියේ පසුගිය රජය සමයේදී සේවාවන් හුවමාරුවද ඇතුළත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පැවති බවයි.

හිටපු ජනාධිපතිවරයා හෝ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් නම් නොකළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ විපක්ෂය යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් පළකරන අදහස් පිළිබඳව විමතියට පත්වන බවයි.

කෙසේ නමුත් දේශපාලනමය සංවාදයකට ලක්වීමට තමා අදහස් නොකරන බව පැවසූ  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි කේ සිංහා විමසා සිටියේ ගිවිසුමේ ඇතුළත් කරුණු පිළිබඳ එකඟත්වයකට පැමිණීමට පෙර එය විවේචනය කළ හැකිද යන්නයි.

එට්කා ගිවිසුමට අදාළ සාකච්ඡාවල න්‍යාය පත්‍රයද තමන් වෙත ලැබුණේ මීට දින දෙකකට පෙර බව ඉන්දු - ශ්‍රී ලංකා සමාජය අමතමින් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

සීපා ගිවිසුම සම්බන්ධයෙන් දැන් විපක්ෂයේ සිටින එවකට අමාත්‍ය ධුර දැරූ දේශපාලඥයන් සාකච්ඡාවලට සහභාගි වූ බවත් එම සාකච්ඡා බොහෝදුරට අවසන් වී පැවති බවත් මහ කොමසාරිස්වරයා කියා සිටියා.

 එය අත්සන් කිරීම නතර වූයේ අවසන් මොහොතේදී බවයි ඔහු සඳහන් කළේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත සේවා හුවමාරුවේදී ක්‍ෂේත්‍ර දෙකක් පමණක් විවෘත කිරීම පිළිබඳ අවධානය  යොමු වුවද එහිදී ක්‍ෂේත්‍ර 80 ක් පමණ පුද්ගල හුවමාරුවකින් තොරව දෙරටට විවෘත වන බව ඉන්දීය මහ කොමසාරිස් වයි කේ සිංහා අවධාරණය කළා.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට යෝජිත ගිලන් රථ සේවාව සහ එට්කා ගිවිසුම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ නමුත් අදාළ ව්‍යාපෘතියට ඉන්දීය රජය මගින් ඩොලර් මිලියන 7ග5 ක මූල්‍යාධාරයක් පිරිනැමුවා.

අදාළ ගිලන් රථ සේවාව සඳහා ශ්‍රී ලාංකික සේවකයන් බඳවාගැනීම සඳහා සති අන්ත පුවත්පත්වල දැන්වීම්ද ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

හදිසි වෛද්‍ය තාක්ෂණික සහයකයන් සහ ගිලන් රථ රියදුරන් බඳවාගැනීම සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා ඇති අතර ඔවුන්ට රුපියල් 25000 ත් 35000 ත් අතර වැටුප් ලබාදෙන බවයි ප්‍රකාශ වී ඇත්තේ.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment