රටේ ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීමට විද්වත් සහාය

රටේ ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීම සදහා විද්වතුන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ අදහස් ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ වසර 2030 වනවිට තිරසාර සංවර්ධනයක් අත්කර ගත් ඉහළ ආදායමක් සහිත ආදර්ශමත් ජාතියක් වීම හා තෘප්තිමත් සාමකාමී සමාජයක් බිහිකිරීම වෙනුවෙන් මෙලෙස ඉදිරි ආර්ථික සැලසුම්වලට විද්වත් සහාය ලබා ගැනෙන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ඉදිරි ගමන් මග යන තේමාව යටතේ සංවිධාන කර තිබූ මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු මැතිඇමතිවරුන්, ජනාධිපති ලේකම් පී බී අබේකෝන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු විද්වත් පිරිසක් ද එක්වී තිබෙනවා.

රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් ආර්ථික සැලසුම් සකස් කිරිම පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මිලියනයක රැකියා අවස්ථා උත්පාදනය, ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථික සංවර්ධනය පුළුල් කිරීම, පුළුල් හා ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම යන ශ්‍රී ලංකාවේ මධ්‍යම කාලීන ඉලක්ක සපුරා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබදව මෙහිදී විද්වතුන් අදහස් පළ කර තිබෙනවා.

රාජ්‍ය නිලධාරින්ට, උගතුන්ට මෙන්ම බුද්ධිමතුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකි මෙවැනි සාකච්ඡා තුළින් රජයේ අඩුපාඩු හදුනාගෙන ඉදිරි සංවර්ධන හා ආර්ථික සැලසුම් සකස් කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment