ලංගමයේ මලගම අතලඟ - වහා මැදිහත්වෙන්නැයි ජනපතිට ලිපියක් 

ලංගමයේ මලගම අතලඟ - වහා මැදිහත්වෙන්නැයි ජනපතිට ලිපියක් 

ශ‍්‍රී ලංගම සේවකයන්ට ස්වෙච්ඡා වන්දි ක‍්‍රමයක් උපක‍්‍රමව ලබාදී ශ‍්‍රීලංගමය දුර්වල කර එහි මලගම උදාකරලීමේ උපාය මාර්ගය වැළැක්වීමට කඩිනමින් මැදිහත්වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා අද(01) ජනාධිපතිවරයාට ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.

එම ලිපියේ මෙසේද දැක්වේ.

“ශ‍්‍රී ලංගම සේවකයන්ට ස්වෙච්ඡා වන්දි ක‍්‍රමයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් සැළසුම් කර ඇති බව 2015 සැප්තැම්බර් මාසය තුළ ජනමාධ්‍යවල පළවී තිබුණි. ශ‍්‍රී ලංගම ශක්තිමත් වීම යනු ඩිපෝ ප‍්‍රමාණය, ආයතන ප‍්‍රමාණය, ප‍්‍රාදේශීය වැඩපලවල් ප‍්‍රමාණය, සේවකයන් ප‍්‍රමාණය වැඩි වීමය. එය එසේ වුවද ඔබතුමාගේ ආණ්ඩුව ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව සැළසුම් කර ඇත්තේ ශ‍්‍රී ලංගමය දුර්වල කර එහි මලගම උදාකරලීමේ ක‍්‍රියාවලියයි. 2016 ජුනි 01 වන දා සිට මාසයක් තුළ ශ‍්‍රීලංගම සේවකයන්ට ස්වෙච්ඡා වන්දි ක‍්‍රමය ඉල්ලන ලෙස මුදල් අමාත්‍යාංශයේ පාස්කරලිංගම් ඇතුළු කල්ලියේ දැඩි බලපෑම මත ශ‍්‍රී ලංගම බලධාරීන් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

2015 සැප්තැම්බර් මස ස්වෙච්ඡා වන්දි ක‍්‍රමය ලබාදී විශ‍්‍රාම යැවීමේ ක‍්‍රියාවලියට විරුද්ධව අප සංගමය ඔබතුමාව ලිඛිතව දැනුවත් කරන ලදී. එම අවස්ථාවේ දී ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාල සිල්වා මහතා ද ශ‍්‍රි ලංගම අතිරික්ත සේවකයින් ඉවත් කරන්නේ නැතිබවට ජනමාධ්‍ය වලට ප‍්‍රකාශ කර තිබුණි. එම මාධ්‍ය ප‍්‍රකාශය ඇතුලූ අනිකුත් ලිපිවල පිටපත් මේ සමඟ ඔබතුමාගේ විශේෂිත අවධානය සඳහා යොමු කරන්නෙමු.

මෙතෙක් පැවති සෑම ආණ්ඩුවක් ම බලය ලබාගැනීමට පෙර රාජ්‍ය සේවය ශක්තිමත් කරන බවට පොරොන්දු ලබාදුන් අතර බලය ලබාගත් පසු රාජ්‍ය සේවය දියකර හැරීමට සහ රජය සතු ආයතනය පෞද්ගලික අංශයට හෝ බහුජාතික සමාගම්වලට විකිණීමේ ක‍්‍රියාවලිය සිදුකර ඇත. ඔබතුමාගේ ආණ්ඩුව ද එම ක‍්‍රියාවලිය සිදුකිරීමට සැළසුම් සූදානම් කරමින් සිටින බවට අප සංගමය බලවත් සැකයක් ඉපදී ඇත.

මුදල් අමාත්‍යාංශ වර්තමාන උපදේශකයෙකු වන පාස්කරලිංගම් මහතාගේ වැඩපිළිවෙලට අනුගතව ශ‍්‍රී ලංගම සේවකයින්ට ස්වෙච්ඡාවෙන් විශ‍්‍රාම ගැන්වීමේ උපක‍්‍රමය ක‍්‍රියාත්මක කර අනතුරුව ශ‍්‍රී ලංගම දුර්වල කර එහි මලගම සිදුකිරීමේ උපාය මාර්ග මේ මොහොතේ සක්සුදක් සේ ක‍්‍රියාත්මක වෙමින් පවතින බව අප සංගමය ඔබතුමාට වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කර සිටින්නෙමු.

ශ‍්‍රී ලංගම සේවකයින්ට ස්වෙච්ඡාවෙන් විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රියාවලිය සදහා විශාල මුදල් ප‍්‍රමාණයක් වැයකිරීමට සූදානම්ව සිටින මුදල් අමාත්‍යාංශයේ පාස්කරලිංගම් ප‍්‍රමුඛ කල්ලිය ශ‍්‍රී ලංගමයට ලබාදෙන ප‍්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කරයි. එම කල්ලියට රාජ්‍ය ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් එම වන්දි සඳහා ලබාදෙන මුල්‍ය ප‍්‍රතිපාදන ශ‍්‍රී ලංගමය ශක්තිමත් කිරීමට ලබාදීමට ක‍්‍රියානොකරන්නේ ඇයි ද යන්න ඔබතුමා මැදිහත් වී විමර්ෂනය කරනු ඇතැයි අප සංගමය බලාපොරොත්තුව සිටිමු.

ගරු ජනාධිපති තුමනි, ශ‍්‍රී ලංගම සේවකයින් ස්වෙච්ඡාවෙන් විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රියාවලිය වළක්වා ශ‍්‍රී ලංගමයට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වැඩි වැඩියෙන් ලබාදී ශ‍්‍රී ලංගමය ශක්තිමත් කර එය ආරක්ෂා කරදෙන ලෙස ඔබතුමාගෙන් අප සංගමය ඉමහත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment