බෞද්ධ අන්තවාදී සංවිධාන සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ නාවික හමුදා රහස් පිටතට ලබාදීම යන චෝදනා මත මුදිත කෞෂල්‍ය සමරනායක නමැති නාවික හමුදා සෙබළා සේවයෙන් පහ කිරීමට නාවික හමුදාපතිවරයා කටයුතු කර තිබිණි.
මෙරට තුළ රජය විසින් බෞද්ධ අන්තවාදී සංවිධාන යැයි නම් කළ කිසිදු සංවිධානයක් ක්‍රියාත්මක නොවන පසුබිමක් තුළ මෙවැනි චෝදනාවක් එල්ල කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක් නිර්මාණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් සේවයෙන් පහ කරනු ලැබූ නාවික හමුදා සෙබළ කෞෂල්‍ය සමරනායක මහතා සමඟ 'දිවයින' ඉරිදා සංග්‍රහය කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ඕනෑ තරම් බෞද්ධාගමික සංවිධාන තිබුණ ද තමා දන්නා තරමින් අන්තවාදී යැයි නම් කළ කිසිදු බෞද්ධ සංවිධානයක් නොමැති බවත් තමා කළේ තමාගෙන් රටට ඉටුවිය යුතු යුතුකම ඉටුකිරීම පමණක් බවත්ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ," එහෙම කිසිම නීතියක් මම දන්නා තරමින් නැහැ. මේ අය අන්තවාදී බෞද්ධ සංවිධාන ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා දන්නේ නැහැ. මෙහෙම හැඳින්වීම කොපමණ අනුචිත දැයි එසේ හඳුන්වන අයවත් දන්නේ නැතුව ඇති. අන්තවාදීන්ට කියාගන්න ඕන දේවල් නාවික හමුදාව තුළින් කියවීම ගැන මට ඇත්තේ විශාල කණගාටුවක්" ලෙසයි.
එහිදී ඔහු ප්‍රශ්න කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී තම ෆේස්බුක් ගිණුම පරීක්ෂා කොට තමා එහි පළකර ඇති සහ හුවමාරු කර ඇති බෞද්ධාගමික ප්‍රවෘත්තීන් දෙස බලා තමන් අන්තවාදී ආගමික සංවිධාන සමඟ ගනුදෙනු කරන බව පැවසීම අමනෝඥ ප්‍රකාශයක් බවයි.
තම සේවා කාලය තුළදී රටටත් හමුදා සේවයටත් කැළළක් ඇතිවන කිසිම ආකාරයක දෙයක් තමන් සිදු නොකළ බවත් රජයට ද්‍රෝහිවන ආකාරයේ කිසිවක් නොකළ බවත් සඳහන් කරන කෞෂල්‍ය සමරනායක මහතා කියාසිටියේ ශ්‍රී ලංකාව සහ බෞද්ධ ආගම විශාල අනතුරක ඇති බව තමන්ට දැනෙන බවත් මෙම සිදුවීම පිළිබඳව තමා දැඩි කලකිරීමකින් පසුවන බවත්ය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබුණේ මේ සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වග උත්තරතරුවන් කරමින් තමන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ බවයි.
0 comments :
Post a Comment