රිය අනතුරක් සිදුකළැයි සැරයන්වරයෙක් අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළැයි සැරයන්වරයෙක් අත්අඩංගුවට

ආණමඩුව - හලාවත මාර්ගයේ උප්පලවත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සහ කාන්තාවකට තුවාල සිදු කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ආණමඩුව පොලීසියේ රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 18 වැනිදා මෙම අනතුර සිදුව ඇත්තේ වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමත් ඒ සමගම කුඩා ප්‍රමාණයේ ලොරියක් වෑන් රථයේ පිටුපස ගැටීමත් හේතුවෙනි.

අනතුරින් යතුරුපැදියේ පැමිණි ආණමඩුව, නඹඩෑව පදිංචිව සිටි සුනිල් ශාන්ත නමැති 46 හැවිරිදි පුද්ගලයා මියගොස් තිබේ.

ලොරි රථයේ ගමන් කරමින් සිටි මැණික්හාමි නමැති 59 හැවිරිදි කාන්තාවක් සහ අනතුර සිදුකළ පොලිස් සැරයන්වරයා තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇත.

ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වරෙන්තු මෙහෙයුමක් සදහා අනතුරට ලක්වූ වෑන් රථයෙන් ගමන් කරමින් සිට ඇති අතර එම වෑන් රථය සැකකාර පොලිස් සැරයන්වරයාට අයත් එකක් බව වාර්තා වේ.

ආණමඩුව - හලාවත මාර්ගයේ ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියක් පසුකර ඇති මෙම වෑන් රථය ඉදිරියට ධාවනය කර ඇත.

ඒ වන විට ඉදිරියෙන් පැමිණෙමින් තිබූ යතුරු පැදියක් හා වෑන් රථය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

ඒ සමගම පසුකර ගිය කුඩා ප්‍රමාණයේ ලොරියද අනතුරට පත්ව ඇති වෑන් රථයේ පිටුපස ගැටී නතර වී ඇත.

වෑන් රථය පැදවූ පොලිස් සැරයන්වරයාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය කියයි.

අනතුරින් පොලිස් සැරයන්වරයාද තුවාල ලබා රෝහල් ගත කර ඇති බැවින් ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

ආණමඩුව පොලීසියේ රථ වාහන අංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

පුත්තලම - ජුඩ් සමන්ත

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment