ජනපති අද ජගත් මහ සමුළුව අමතයි

ජනපති අද ජගත් මහ සමුළුව අමතයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (21) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිතය.

ලෝක නායකයින් 140කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (20) ඇරඹුණු මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වනුයේ 'තිරසාර සංවර්ධන ඉලක්ක - ගෝලීය වෙනසක් සඳහා විශ්වීය පෙළඹුමක්' යන්නයි.

ප්‍රධාන තේමාවට අමතරව ලොව පුරා රාජ්‍යයන් රැසක් මුහුණ දී සිටින සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිළිබද ගැටළුව ද මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කරයි.

මෙම සැසි වාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකානු රාජ්‍ය නියෝජිත ආයතනයක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරිනී ඩැනේ ජේ. හයිඩ් මහත්මිය ද හමුවිය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තිරසාර සංවර්ධනය සහ සංහිදියාව ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.

එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියේ තේමාව වූ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම මේ වන විටත් තම රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු එහිදී සදහන් කළේය.

මාස 20ක කාලයක් තුළ ශ්‍රී ලංකා නව රජය ලබා ගත් ජයග්‍රහණ ඇමරිකානු රාජ්‍ය නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායකවරියගේ ප්‍රසාදයට ලක්වූ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

ජගත් සංවිධාන මහ මණ්ඩල සැසියට එක්වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් මහලේකම් බෑන් කී මූන් මහතා පිරිනමන ලද විශේෂ භෝජන සංග්‍රහයේදී අවශ්‍ය ඕනෑම වෙලාවක ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා ප්‍රකාශ කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර සිටියේය.

එමෙන්ම නව රජයේ ගමන් මඟ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ පූර්ණ ආශිර්වාදය හිමි වූ බවද ජනාධිපතිවරයා පැවසීය.

ඊයේ මහමණ්ඩල සැසිවාරය අතරතුරදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බාර්, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න් බුල් යන මහත්වරුන් ද හමුවිය.

මේ අතර ඊයේ මහ මණ්ඩල සැසිය අරඹමින් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා සහ ජගත් සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ද අදහස් පළ කළේය.

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment