අනතුරට පත් තරුණයා නුවන් කුලසේකරගේ පාසල් මිතුරෙක්ලු


අනතුර වළක්වන්න බැරි එකක්
මියගිය තරුණයා නුවන් කුලසේකරගේ පාසල් මිතුරෙක්ලු

ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකරගේ මෝටර් රථයට යටවී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී සඳුදා සවස මියගිය යතුරු පැදිකරු ඔහුගේ පාසලේම අධ්‍යාපනය ලැබූ ඔහුව හඳුනන අයෙකු බව වාර්තා වේ.
 මෙම මාරක රිය අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වායුසමීකරණ ශිල්පියෙක්‌ වූ නිට්‌ටඹුව, මාඉඹුල විසූ නිශ්ශංක ආරච්චිගේ දිනේෂ් අරවින්ද නිශ්ශංක නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මෙම සිද්ධිය ගැන සාක්ෂි විභාගය ඊයෙ පැවති අවස්ථාවේ
ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර මෙසේ කියා ඇත.
‘මෙම සිද්ධිය වුණේ ඊයේ (19 දා) සඳුදා ප.ව. 3.30 ට පමණ. මම ගම්පහ සිට නිවස කරා යමින් සිටියා. කිරිල්ලවල පසු කළා. පාරේ තරමක වාහන තදබදයක්‌ තිබුණා. දළ වශයෙන් 50 ක පමණ වේගයක්‌ තිබුණා. හරියට වේගය කීමට මට අපහසු වුණත් එය අධික වේගයකින් යා හැකි අවස්‌ථාවක්‌ නොවේ. එක්‌වරම මගේ දකුණු පසින් යමක්‌ පාරේ මැද දූපත දෙසින් එනවා පෙනුණා. ඒ සමගම එය රියේ ගැටුණු බව දැනුණා. වම් අතට වාහනය ගන්න උත්සාහ කළා. ඒ සමගම තිරිංග යෙදුවා ක්‍ෂණිකව.


මා නැවතුනේ වම් අත පැත්තේ. පැති කණ්‌ණාඩියෙන් මා දුටුවා සෙනඟ පිරෙනවා. මා එතැනට ගිය පසුවයි පුද්ගලයකු වැටී සිටිනවා දුටුවේ. මා රියේ විනාඩියකට අඩු කාලයක්‌ රැඳී සිට ඊට පසුවයි බැස්‌සේ. ලේ තිබෙනවා දුටු අතර හිසට අනතුරක්‌ සිදුව තිබුණා. මට බියක්‌ දැනුණා. රථය එසේම තිබියදී මම කඩයකට වී පොලිසිය එනතුරු සිටියා. මන්ද මට පෙර කෙනෙකු පොලිසියට කතාකර තිබූ නිසයි. පොලිසිය පැමිණ අනතුර පිළිබඳ රාජකාරි කළ පසුව එම නිලධාරීන් සමගම පොලිසියට ගොස්‌ කටඋත්තරයක්‌ දුන්නා. මහෙස්‌ත්‍රාත්තුමා හමුවටද ගියා. ඇප ලැබුණා. පොලිසියේ දැනුම්දීම මත අද (20 දා) ඉදිරිපත් වුණා. මගේ දැනුම අනුව නම් මෙය මට වළක්‌වාගත නොහැකියි. අනතුර එතරම්ම ක්‍ෂණිකවයි සිදුවූයේ. එහෙත් යහපත් පුරවැසියකු වශයෙන් මගේ යුතුකම වන්නේ රියේ ගැටුණු අයගේ පවුලේ අයට සාධාරණයක්‌ ඉටුකිරීමයි.‘

මෝටර් රථයට යටවී මිය ගිය නිට්ටඹුව  දිනේෂ් අරවින්ද (28) නුවන් කුලසේකරගේ පාසල් මිතුරකු බව දිනේෂ්ගේ මව වන චම්මි
නිශ්ශංක මහත්මිය පවසයි. ඇය ඒ ගැන විස්තර කරමින් මෙසේ කීවාය.

“පුතා ඉස්කෝ‍ලේ ගියේ රන් ‍පොකුණගම මහා විද්‍යාලයට. එයා ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි. ඒ කා‍ලේ
පුතාට ක්‍රිකට් පිස්සුව තිබුණා. ඒ නිසා තමයි නුවන් කුලසේකරවත් අඳුනන්නේ. නුවන් ගියෙත් අපේ පුතා ගිය
ඉස්කෝලෙටමයි. පුතා නුවන් ගැන නිතරම කියවනවා. පසු කා‍ලේදී පුතා සංඝබෝධි විද්‍යාලෙට දැම්මා.
එහෙදී වොලිබෝල් ටීම් එකෙත් හිටියා. පුතාට මේ සිද්ධ වුණ දේ ගැන මට තවමත් හිතා ගන්න බැහැ.


අනතුරින් පස්සේ නුවන් කුලසේකරගේ තාත්තත් මා එක්ක දුරකථනයෙන් කතා කළා. අනේ මම කිව්වා නුවන්ගේ
පියාට මගේ පුතා දැන් මැරිලා ඉවරනේ. එයාගේ වැරැද්දක් තිබුණත් නැතත් දැන් ඔයාගේ පුතාව
බේරගන්න කියලා.“

කෙසේ වෙතත් කුලසේකර සඳහන් කර ඇති ආකාරයට පරීක්ෂා කර බැලීමේදී යතුරු පැදිකරු පැමිණි දිශාවෙන්
වූ මාර්ගය වෙන්කරන කොටසෙහි යතුරු පැදියේ පාදය තිබෙන කොටස ඇතිල්ලී මීටර් කිහිපයක් ගොස් ඇති බවට
සාක්ෂි සහිතව දැකගන්නට හැකිවී ඇත. ඒ නිසා මෙම සිද්ධියේදී කුලසේකරගේ වැරැද්දක් මේ වන තෙක්
අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. නුවන් කුලසේකර බීමත්ව ඇතිදැයි පරීක්ෂ කර ඇති අතර
එහිදීද ඔහු මත්පැන් නොබී සිටි බවට තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.

මෙහි පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය රාගම ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍ය යූ. එල්. එම්. එස්‌. පෙරේරා මහතා විසින් සිදුකර ධාවනය වන මෝටර් රියක හිස ගැටීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් සිදුවී ඇති මරණයක්‌ බවට සිය වෛද්‍ය වාර්තාවෙන් නිගමනය කර තිබිණ. නැවත මෙම පරීක්‍ෂණය ලබන මස 01 වැනිදා තෙක්‌ කල් තැබීමට හදිසි මරණ පරීක්‍ෂකවරිය තීරණය කළාය. එදින සිද්ධිය දුටු සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළාය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment