රජය සහ ඖෂධ සමාගම් අතර එකඟතා - රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම

රජය සහ ඖෂධ සමාගම් අතර එකඟතා - රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම

රටේ පොදු මහ ජනතාවගේ දීර්ඝ කාලීන හඬක් වූ ඖෂධ පනත සම්මත කරමින් රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

රජය සහ ඖෂධ සමාගම් අතර ඇති කරගන්නා වු එකඟතාවයන් තුළින් එහි පවතින සියලූ අඩු පාඩු මඟ හරවා ගැනීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ගම්පහ සණස සුව සෙවණ සය මහල් ගොඩනැඟිල්ල ගම්පහ මහ රෝහලට පරිත්‍යාග කරමින් විවෘත කිරීමේ උත්සවයට ඊයේ (29) පෙරවරුවේ එක් වෙමිනි.

ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ රට තුළ දීර්ඝ කාලීන හඬක් පැවතිය ද එහි ප‍්‍රතිඵලය නිසි ලෙස ජනතාවට ලබාදුන්නේ වත්මන් රජය බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඉහළ ගුණාත්මකභාවයෙන් සහ උසස් ප‍්‍රමිතියෙන් යුත් මෙන්ම පහසු මිලට ඖෂධ ලබා ගැනීමට මේ තුළින් ජනතාවට අවස්ථාව ලැබෙන අතර ඊට අදාළ ආයතනික ව්‍යුහය සහ නීති රීති මේ වන විට සම්පාදනය කරමින් සිටින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

රුපියල් මිලියන 106 ක් වැය කරමින් සියලූ පහසුකම්වලින් සමන්විතව මෙම රෝහල් ගොඩනැඟිලි ඉදිකර තිබෙන අතර එය ගම්පහ රෝහල වෙත පවරාදීමේ සන්නස් පත‍්‍රය සණස ගම්පහ දිස්ති‍්‍රක් සභාපති නීතිඥ ලලිත් ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන් අතර ජනාධිපතිවරයා එය ගම්පහ රෝහල් අධ්‍යක්ෂ පි‍්‍රයන්ත තෙන්නකෝන් මහතා වෙත භාර දෙනු ලැබීය.

ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා පරිත්‍යාග සිදු කළ අයට සිහිවටන තිළිණ ප‍්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ගම්පහ මහ රෝහලේ ගැබිනි වාට්ටු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතවූ ජනාධිපතිවරයා ගැබිණි මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර බෙදාදීමට ද එක් විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, අමාත්‍ය ජෝන් අමරතුංග නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ඩුලීප් විජේසේකර, ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නම්පෙරුම යන මහත්වරුන් ඇතුළු බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරු රැසක් ද, සණස නායක ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා ඇතුළු සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment