මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් සොයාගත් අස්ථි කොටස් ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ නඩුව අද(05) කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ අධිකරණ නියෝග මත මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිදුකළ පරීක්ෂණයක දී කලවා අස්ථි කොටස් 19 ක් සහ හකු අස්ථි කොටස් 17 ක් සොයාගත් බවයි.
එම අස්ථි කොටස් අතර වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් තිබේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව එම අස්ථි කොටස් ජින්ටෙක් ආයතනය වෙත යොමු කර ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අවසර ලබා දුන්නේය.
හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් වෛද්‍ය සභාව සිදුකරන පරීක්ෂණ මන්දගාමී වීම සම්බන්ධයෙන් ඔහු උසාවියෙන් විමසා සිටි අතර වෛද්‍ය සභාවේ නීතිඥවරු උසාවියට දන්වා සිටියේ එය සිතා මතා නොකරන බවයි. මේ සම්බන්ධයෙන් සලකා බලා ඉදිරියේ දී නියෝගයක් නිකුත් කරන බව අධිකරණය දන්වා සිටියේය.
මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 19 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
0 comments :
Post a Comment