වර්ග කළ කසල පමණක් භාරගැනීම අද ජනපති නිවසින් අරඹයි

වර්ග කළ කසල පමණක් භාරගැනීම අද ජනපති නිවසින් අරඹයි

අද (01) දින සිට දිවයිනේ සෑම පළාතකම කසල එකතු කිරීමේදී දිරන සහ නොදිරන වශයෙන් කාණ්ඩ 02ක් යටතේ වෙන් කළ කසල පමණක් එකතු කිරීමට සියලු මහනගර සභා තීරණය කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම වැඩසටහන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී ආරම්භවීමට නියමිතය.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කළේ මෙලෙස වෙන් කිරීමකින් තොරව ඉවතලන කසල එකතු කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කරන බවයි.

ඇතැම් මහ නගර සභා මේ වනවිටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළද පාසල්, පොලිස් ස්ථාන, පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිසන් සභාව ඇතුලු රාජ්‍ය ආයතන රැසක් කසල වෙන් නොකරන බවට පළාත් පාලන කොමසාරිස්වරුන් චෝදනා කරයි.

ඒ අනුව අමාත්‍යංශ යටතේ ඇති සියළුම ආයතනවලට කසල වර්ගීකරණය පිළිබඳව දැනුවත් කරන ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සියළුම කැබිනට් අමාත්‍යවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

අද සිට අවිධිමත් ලෙස කසල බැහැර කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලබා ගැනෙන බව සඳහන්ය. 

අවිධිමත් ලෙස කසල බැහැර කරන පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳව තොරතුරු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයෙන් සහ 0112 58 71 24, 0112 59 31 11 යන දුරකථන අංක ඔස්සේ පොලිස් පරිසර කොට්ඨාශයට ලබාදිය හැකිය.

වර්ගීකරණය කළ කසල පමණක් එකතු කිරීමේ වැඩසටහන මගින් නගරවල එකතු වන කසල ප්‍රමාණය 50%ත්, 60%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment