කෝප් වාර්තාවේ එජාප මන්ත්‍රීන්ගේ පාද සටහන් රැසක්‌ අසත්‍ය කරුණු මත පදනම් වෙලා

කෝප් වාර්තාවේ එජාප මන්ත්‍රීන්ගේ පාද සටහන් රැසක්‌ අසත්‍ය කරුණු මත පදනම් වෙලා

බැඳුම්කර ගනුදෙනු පිළිබඳව පසුගිය සිකුරාදා (28) කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ කෝප් වාර්තාවේ ඇති එජාප මන්ත්‍රීවරුන්ගේ පාද සටහන් බොහොමයක්‌ අසත්‍ය කරුණු මත පදනම් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අනුව කෝප් වාර්තාවේ ඇති පාද සටහන් අංක 01, 02 සහ 03 අදාළ තර්කවලට පදනමක්‌ නැති බවට වන තොරතුරු ලැබී තිබේ.

එජාප මන්ත්‍රී කණ්‌ඩායම ඉදිරිපත් කළ පළමු පාද සටහනින් කියන්නේ 2008.01.07 දිනැති මුදල් මණ්‌ඩල පත්‍රිකාවෙන් භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමය මගින් අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට තීරණය කර ඇත්තේ මාස තුනක කාලයකට බවයි. එහෙත් භාණ්‌ඩාගාර බැඳුම්කර හඳුන්වා දෙන ලද 1997.02.14 දිනැති මුදල් මණ්‌ඩල පත්‍රිකාවකින් සහ ඊට පසු 2008.01.07 දිනැති මුදල් මණ්‌ඩල පත්‍රිකාවකින් සෘජු ක්‍රමයට භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අවශ්‍ය මුදල් මණ්‌ඩල අනුමැතිය ලැබී ඇති අතර එම අනුමැතිය මාස තුනකට සීමා කර ඇති බවක්‌ සඳහන් නොවන බව වාර්තාවේ.

විශේෂයෙන් 2008.01.07 දිනැති මුදල් මණ්‌ඩල පත්‍රිකාවේ සඳහන් වන්නේ මාස තුනකින් පසු අදාළ පොලී අනුපාත නැවත විමර්ශනය කිරීම ගැන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉන් පසු 2008.05.02 දිනැති මුදල් මණ්‌ඩල පත්‍රිකාවෙන් භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු නිකුත් කිරීම් සඳහා යෝජනා කළ පොලී අනුපාත 2008 මැයි මස සිට දෙසැම්බර් කාලය තුළ භාවිත කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදී ඇත. ඉන් පසුව 2008.10.07 දින ඉදිරිපත් කරන ලද මුදල් මණ්‌ඩල පත්‍රිකාවකින් රජයේ ණය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කර තිබේ. ඒ අනුව 2008 ඔක්‌තෝබර් මස සිට අර්ථසාධක අරමුදල ඇතුළු අනෙකුත් මූලාශ්‍රයන් වෙත සෘජු ක්‍රමය යටතේ ද්විතියික වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා සියයට 0.05 කට වැඩි පොලී අනුපාතයකට බැඳුම්කර නිකුත් කිරීමට අවසර ලැබී ඇති අතර එම අවසරය අද වනතෙක්‌ වලංගු බවද මහ බැංකු ආරංචිමාර්ග හෙළි කරයි.

මේ අනුව දෙවැනි පාද සටහනට පදනම් වන 2016 ඔක්‌තෝබර් 24 දිනැති කෝප් කාරක සභාවට මහ බැංකුවෙන් කඩිමුඩියේ ගෙන්වා ගන්නා ලද ලිපියේ අර්ථය විකෘති කොට භාවිත කර ඇති බවත් එම ලිපිය කෝප් සභාවට යෑවිය යුතු වන්නේ මහ බැංකු අධිපතිවරයා වුවත් එය මහ බැංකුවේ දේශීය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයකු අත්සන් තබා යැවීම වලංගු නැති බවද ඒ සඳහා එම මහ බැංකු නිලධාරියාට එරෙහිව විනය පියවර ගත හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් වේ.

එජාප මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පරිදි එම ලිපිය මහ බැංකුවෙන් ලබාදීම සඳහා මෙම බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ එක්‌තරා නියෝජ්‍ය අධිපතිවරයකු සම්බන්ධ වී ඇති බවද එම මහ බැංකු ආරංචි මාර්ග වලින් තවදුරටත් වාර්තාවේ.

(දිවයින)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment