මර්වින් සිල්වාට ලක්ෂ 4ක දඩයක්

මර්වින් සිල්වාට ලක්ෂ 4ක දඩයක්

කිරිබත්ගොඩ, ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ තාප්පය ඇතුළු නිවසක කොටසක් 2010 වසරේ ඔක්තෝබර් මාසයේදී කඩා දැමීම සම්බන්ධයෙන් එම නිවැසියාට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ හතරක මුදලක් පෞද්ගලිකවම ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ඇමැති මර්වින් සිල්වාට අද (30) නියම කළේය.

සංවර්ධන කටයුත්තක් මුවාවෙන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධ වී එම දේපළ විනාශය සිදු කිරීම නිසා ඒ පිළිබදව රජය ද වගකිව යුතු බවට තීරණය කළ ‍අධිකරණය ඒ වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක මුදලක් ‍පෙත්සම්කරුට ගෙවන ලෙස ද අධිකරණය රජයට නියම කළේය.

අදාළ දේපළ කඩා බිඳ දැමීමට එරෙහිව කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි අසිත නානායක්කාර ලියනගේ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණවීර, එම ප්‍රාදේශිය සභාවේ ලේකම්, එවකට නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා, එවකට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති, නීතිපතිවරයා ඇතුළු අටදෙනෙක් නම් කරනු ලැබ සිටියහ.

ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල ශ්‍රේස්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩු තීන්දුව ලබා දුන්හ.

එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළත් එම ස්ථානයට නොපැමිණීමෙන් රාජකාරිය පැහැර හැරීම වෙනුවෙන් රුපියල් 50,000 ක වන්දි මුදලක් පෞද්ගලිකවම ගෙවන ලෙස එවකට කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරියට නියම කැරිණි. පොලිස් පරීක්ෂකවරයාගේ මෙම ක්‍රියාව පොලිස් දෙපොර්තමේන්තුවේ නාමයට අපකීර්තියක් සිදු කර ඇති බවටද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

අදාළ දේපළ කඩා බිඳ දැමීමට කැළණිය ප්‍රදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන ඇති අතර රජයේ දේපලක් එලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගෙන ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment