මාතලේ කාර් එකේ ඩිකියට දරුවෙකු දැමූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන වෙනස් වුණ ඇත්ත කතාව


මාතලේ කාර් එකේ ඩිකියට දරුවෙකු දැමූ
නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන 
වෙනස් වුණ ඇත්ත කතාව


පසුගියදා මාතලේ නගරයේදී කැමරාවක සටහන්වූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ළමා ශ්‍රමිකයෙකු මෙහෙකාරකමේ යෙදවීම හා ළමයා වාහනයේ ඩිකියට දමා වසා වාහනය පැදවූ සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවේ.
මතුපිටින් පෙනුණ ආකාරයට වඩා වෙනස් තත්වයක් මෙම සිදුවීම පසුපස ඇති බව ඒ ගැන පරීක්ෂණය සිදු කළ මාතලේ පොලිස් නිලධාරීන් මේ වනවිට වාර්තා කර තිබේ.
වාහනයට ළමයා ඇතුළු කරන අයුරු ඡායාරූපයට නැගූ ත්‍රීරෝද රථයක සිටි මාධ්‍යවේදියාගේ ඡායාරූප ඔස්සේ ‘වැගන්‘ වර්ගයට අයත් පැරණි මෝටර් රථය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (DIG) වරයකුට අයත් එකක් බව පොලිසිය සොයාගත් අතර එය මාතලේ කූඹියන්ගොඩ මාර්ගයේ මීගස්තැන්න පාරේ පිහිටි ඔහුට අයත් වළව්වේ නතර කර තිබෙන බවට
ලැබුණ තොරතුරු ඔස්සේ පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් සෝදිසි කිරීම් සිදු කර තිබේ.
මෙම වළව්වේ එම අවස්ථාවේත් වාහනයට නැගුණ දරුවා සිටි අතර 11 වන වියේ බවට හඳුනාගනු ලැබුණ ද්‍රවිඩ ජාතික එම දරුවා සමග දරුවාගේ දෙමාපියන්ද නිවසේ සිටිනු හඳුනාගන්නට ලැබී තිබේ. එම වළව්වේ මෙහෙකාර සේවයේ යෙදුණ බව කියන එම පවුල වළව්වට යාබද කුඩා නිවසක පදිංචිව සිට ඇත.
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සිට පැමිණි ද්‍රවිඩ ජාතික දරුවාගේ පියා හා  සිංහල ජාතික මවට රැකියාවක් ලෙස මෙම වළව්වේ වැඩ කිරීම වෙනුවෙන් මසකට 12000 බැගින් වේතනද
ලබාදෙන බවත් ඔවුන් මෙම නිවසේ සියලුම ආකාරයේ මෙහෙකාර සේවයේ යොදාගෙන තිබූ බවත් හෙළි විය. දරුවා මෙහෙකාරකම් වලට උපයෝගී කරගත් බවත් හෙළිවී නැත.කෙසේ වෙතත් ඔවුන්ට අවශ්‍ය නිවස,කෑම බීම ඇතුළු පහසුකම් සපයනවාට අමතරව කිසිදා පාසල් ගොස් නැති බව කියන මේ දරුවා වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමටද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති උනන්දුවී ඇත.

ඒ වෙනුවෙන් පාසලක් සොයා අවශ්‍ය වියදමදී උගන්වන්නට සූදානම් වුවත් අකුරු බැරි නිසා 11 හැවිරිදි වියේ දරුවෙකු පාසලට භාරගන්නට බැරි බව එම විදුහල්පති දන්වා ඇති අතර මේ හේතුවෙන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වියදමින් නිවසට ගුරුවරුන් දෙදෙනෙකු ටියුෂන් ගෙන්වා එම දරුවාට ඹූලිකා අධ්‍යාපන අඩිතාලම දමන්නටද කටයුතු සලස්වා තිබී ඇත.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් සිද්ධිය විමසූ අවස්ථාවේ සිනහ පහළවී ඇති අතර ඔහු පවසා ඇත්තේ මාතලේ නගරයට එදින දරුවාද රැගෙන
ගියේ දරුවාට තෝසේ කන්න ආසා යයි දැන්වූ නිසා බවත් ඡායාරූපවල දැක්වෙන දරුවාගේ අතේ පාර්සලය තුළ තිබුනේ ඒවා බවත්ය.

දරුවා ඩිකියට දමා වසන්නට මුල්වූයේ ඔහුගේ ආසාව බවත් එතැන හිඳගෙන නගරයේ ඔබමොබ බලමින් ගමන් කිරීමට දරුවා ඉල්ලා සිටින නිසා එය කළ බවත් ඔහු පවසා ඇත.
මෙම සිද්ධිය ගැන දරුවාගෙන්ද ප්‍රශ්න කර ඒ ගැන තහවුරු කරගත් පොලිසියට දරුවා තමා ඇන්ද චිත්‍රයක්ද පෙන්වූ අතර එම චිත්‍රයේ වාහනයේ පසුපස සිට නගරයේ ඔරලෝසු කණුව ඇතුළු විවිධ දේ සිතුවමට නගා තිබෙන අයුරු හඳුනාගන්නට ලැබී තිබේ.

පොලිසිය නිවසේ සිටි අවස්ථාවේ දරුවාට උගන්වන්නට නිවසට ගෙන්වූ ටියුෂන් ගුරුවරියකද පැමිණ සිටි අතර ඇගෙන්ද පොලිසිය ඇත්ත තත්වය තහවුරු කරගෙන ඇත.
මෙම දරුවාට අධ්‍යාපනය ලබාදෙන්නට වත්කම් නැති බවට දෙමාපියන් මීට කලකට පෙර පොලිසියට දන්වා සිටි අයෙකු බවත් ඒ හේතුවෙන් දරිද්‍රතාව මුල් කරගෙන ඔහුව උසාවියෙන් පරිවාස භාරයට පත් කර ළමා නිවාසයකට ඇතුළු කර තිබූ බවත් එම ටියුෂන් ගුරුවරිය අනාවරණය කළ අතර මේ දරුවාට ආයෙ දෙමාපියන් ළඟට පැමිණ මේ ආකාරයට ඉගෙනීමට අවස්ථාව පෑදුනේද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පිහිට ලැබීම නිසා බවද ඇය අනාවරණය කර ඇත.
දැනටමත් පරිවාස නිලධාරීන් විටින් විට පැමිණ දරුවා ගැන නීති ප්‍රකාරව අධික්ෂණ සටහන් තබා යන බවද ඇය කීවාය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment