නාවික හමුදාපති මාධ්‍යවේදියෙකුට පහරදීම හරිලු වැරදිලු


නාවික හමුදාපති මාධ්‍යවේදියෙකුට පහරදීම
හරිලු වැරදිලු

ඊයේ හම්බන්තොට වරායේ සේවක උද්ඝෝෂණය පැවති අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව උද්ඝෝෂකයන් විසුරුවා හරින ආකාරය වාර්තා කිරීමට ගිය රොෂාන් දිලිප් කුමාර නමැති වීඩියෝ කැමරා මාධ්‍යවේදියාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පරුෂ වචනයෙන් බැණ කළ පහර දීම මේ වනවිට ආන්දෝලනයට ලක්ව තිබේ.
තමා ජනමාධ්‍යවේදියෙකු බව කෑගසා
හැඳුනුම්පත පෙන්වන අවස්ථාවක ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියා කොට කලිසමක් හා ටීෂර්ටයක් ඇඳගෙන විත් නොගැළපෙන හැසිරීමක නිරතවන ආකාරය එම සිද්ධියේ පටිගත වූ වීඩියෝ වලින් පැහැදිලි වෙයි.
නාවික හමුදාපතිවරයා ජනමාධ්‍ය  හැදුනුම්පතට කිසිදු ගරු සරුවක් නොදැක්වීම බරපතල තත්ත්වයක් බව

ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය නිවේදනයකින් දන්වා ඇත.

නාවික හමුදාවේ සෑම වීර ක්‍රියාවක්ම වාර්තා කරන මාධ්‍ය මේ ආකාරයට නොසලකා හැරීම පුදුමසහගත බවද එහි කියැවේ.

සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදී රොෂාන් තමා පහර කන අවස්ථාවේ මේ ආවේ නාවික හමුදාපති යයි දැන සිටියේ නැති බවද පවසා ඇත.

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා මේ ගැන පවසා ඇත්තේ ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හරිනු ලැබ ඇති බවකි.ඔහු නාවික හමුදා අණ නොතකා රැඳී සිටීම වරදක් බව එයින් හැඟවේ.

ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ විරෝධතාවේ යෙදී සිටි සේවකයන් විසුරුවා හැරීමේදී නාවික හමුදාපතිවරයා සහ නාවික හමුදා භට කණ්ඩායම කටයුතු කළ ආකාරයේ වරදක් කිව නොහැකි වන අතර “මාධ්‍යයටත් අපි කිව්වා මෙතැනින් පොඩ්ඩක් අයින් වෙන්න කියලා, නමුත් එම මාධ්‍යවේදියා එසේ කර නැහැ“ යයිද ඔහු පවසා ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස තමන් පොලිසියට දන්වා ඇති බව ඔහු පවසයි.

සිද්ධිය දෙරණ නාලිකාව මගින් වාර්තා කර තිබූ වීඩියෝව පහතින්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment