වෙරිවූ කාන්තාවක් පොලිසියේ යකා නටා- නිලධාරීන්ගේ අත් සපා කාලා

මත්පැන් පානය කොට අධික ලෙස වෙරි වූ කාන්තාවක් ගල්ගමුව පොලිස් ස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුට පහරදී ඔහුගේ අත සපා කා තුවාල සිදු කිරීමේ පුවතක් ගල්ගමුව පොලිස් ස්ථානයෙන් වාර්තා වේ.

පෙරේදා (23දා) සවස් කාලයේ බීමතින් පොලිස් ස්ථානය වෙත පැමිණි මෙම කාන්තාව පොලිස් නිලධාරීන්ට ඉතාමත් පහත් ආකාරයෙන් බැන වදිමින්
කලහකාරී ලෙස හැසිරී ඇති අතර එය වැළැක්වීමට පොලිස් නිලධාරියෙක් උත්සාහ ගත් අවස්ථාවේ එම නිලධාරියාට පහරදී අත සපා කා තිබේ. සපා කෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර කලහකාරී ලෙස හැසිරුණු එම කාන්තාව නවතාලීමට පොලිස් ස්ථානයේ සේවයේ
නියුතු පොලිස් කාන්තාවක් දැඩි පරිශ්‍රමයක් දරා තිබේ. ඉන් පසුව සැකකාර කාන්තාව ගල්ගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

අත්අඩංගුවට පත් වූ කාන්තාව තමා අත්අඩංගුවට ගැනීම නිසා දිවි නසා ගන්නා බවට පොලිස් ස්ථානය තුළ කෑ ගසමින් වැළපෙමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් ඇඳ සිටි ඇඳුම්ද ඉරා දමමින් බිත්තිවල හිස ගසා ගනිමින් ඉතාමත් අශෝභන ආකාරයෙන් හැසිරී තිබේ.

පොලිස් අත්අඩංගුවට පත් වූ කාන්තාව ගල්ගමුව මහෙස්ත්‍රාත් රංජීව ලක්ෂාන් වරුෂවිතාන මහතා වෙත ඊයේ (24දා) ඉදිරිපත් කළ අතර සැකකාරිය පෙබරවාරි මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

සැකකාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ගොනු කළ නීතිඥ කාංචනා හතුරුසිංහ මහත්මිය පවසා සිටියේ සැකකාරිය රක්ෂණ සමාගමකින් ජීවිත රක්ෂණයක් ලබා ගෙන ඇති බවත් තමාට වැලඳුණු යම් රෝගී තත්ත්වයකට රක්ෂණ සමාගම වන්දි නොගෙවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට පොලිස් ස්ථානය වෙත ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් තමාට බැන සැමියා හා දරුවා බලා සිටියදීම තමාට පහරදී රෝහලට රැගෙන ගිය බවත්ය.

ඊට අදාළ කරුණු දක්වමින් පොලිස් නිලධාරීන් පවසා සිටියේ මෙම කාන්තාව එම පැමිණිල්ල සිදු කිරීමට පොලිස් ස්ථානයට වෙත පැමිණියේ 23 වැනිදා දහවල් 12ට පමණ බවත් නැවතත් සවස් කාලයේ මේ ආකාරයෙන් බීමත්ව පැමිණ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරුණු බවත්ය.

පොලිස් නිලධාරීන් කරුණු දක්වමින් සිටියදී ඊට බාධා කරමින් 'ඔය ඔක්කොම බොරු ස්වාමීනි, පොලිසියේ අය මට ගැහුවා කියමින් අධිකරණය තුළ හඬා වැළපෙන්නට වූවාය.
කෙසේ වෙතත් වෛද්‍ය වාර්තා මඟින් සැකකාරිය බීමත්ව සිටි බවටද කරුණු ඔප්පු කර තිබූ අතර මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකාරිය වෙනුවෙන් ඉහත නියෝගය ලබා දුනි. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගල්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් ඉහළගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

(ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment