එදා හිටියෙ පවුලේ හොරු අද ඉන්නෙ හවුලේ හොරු - විජිත හේරත්


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් තිහාරියේ පැවැති ජන හමුවකදී මෙසේ කියා ඇත.

"2015 ජනවාරි 08 වැනිදාට කලින් රාජපක්ෂ පාලනය මුළු රටම ඒකාධිපති වියරුවකට යටත් කරල තිබුණේ. මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණය මේ රටේ ජයග්‍රහණයක් කර ගන්නවා වෙනුවට, එය තම පවුලේ
ජයග්‍රහණයක් බවට රාජපක්ෂ පවුල සැලකුවා. දූෂණය, වංචාව, හොරකම පමණක් නොවේ මැදමුලනෙ කැලෑ නීතිය රජ කරපු දවසක් එදා තිබුණේ. ජනතාවට නිදහසේ ජීවත් වන්නට බැරි තත්ත්වයක් එදා නිර්මාණය වෙලා තිබුණා. රාජපක්ෂ කල්ලිය ජාති වාදය හා ආගම් වාදය වපුරුවන්න එක එක
සංවිධාන හදල ජනතාවගේ සමඟිය බිඳ දමන්නට කටයුතු කළා. ඒ නිසා මේ රටේ ජනතාව රාජපක්ෂ දුර්දාන්ත පාලනය අතුගාල දාල ලොකු බලාපොරොත්තුවක් ඇතිව අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.

නව ආණ්ඩුව පිහිටුවා ගත්තට පස්සෙ යම් යම් ප්‍රතිසංස්කරණ ටිකක් සිදුවුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. කොමිෂන් සභා පිහිටෙව්වා. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කළා. රාජපක්ෂ කල්ලිය මෙහෙයවූ අර සේනා, මේ සේනා ජාතිවාදය අවුස්සන කල්ලි යටපත් කළා. හැබැයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කරන්න මේ ආණ්ඩුව සමත් වූයේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කළේ නැහැ. හොරකම, දූෂණය, නාස්තිය නතර කරනව කිව්වට ඒව නතර කළේ නැහැ. හොරුන්ට දඬුවම් දෙනව කිව්ව ආණ්ඩුව අද හොරුත් එක්ක එකතු වෙලා, දැන් හොරු ආණ්ඩුව අල්ලගෙන. අද මහ බැංකු බැඳුම්කර සල්ලිවලින් මේ රටේ කළු ආර්ථිකයක් නිර්මාණය කරන්න හදනවා. බැඳුම්කර වංචාවෙන් උපයාගත් කළු සල්ලිවලින් නැවත පෙරළා වටයකින් අලුත් මාධ්‍ය ආයතන මිලදී ගන්නවා, ස්කාගාර හදනවා. බැඳුම්කර වංචාවෙ හොරුන්ට මේ ආණ්ඩුවෙන් දඬුවම් ලැබෙන්නෙ නැහැ. දඬුවම් දුන්නොත් ඉහළ පුටුවෙ ඉඳල පහළටයි ලැබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව හොරු අල්ලන්නෙ නැහැ කියන එක හොඳටම විශ්වාසයි. මේ නිල්, කොළ ආණ්ඩු දෙකම එකයි. එදා හොරකම් කළේ පවුලෙ හොරු. අද හොරකම් කරන්නෙ හවුලෙ හොරු.‘

(නිට්ටඹුව - විජේපාල කොඩිතුවක්කු)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment