උපන්දින මතක් කරන සිරි කහවල රෝහලේ

අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා මාධ්‍යවේදී සිරි කහවලට හිමි වනුයේ සුවිශේෂ තැනකි. සෑම ක්‍ෂේත්‍රයකටම අයත් කලා කරුවන් අතර හොඳ හිත පතුරවන කලා කරුවකු ලෙස ප්‍රකට සිරි කහවල ‘මිස්ටර් හොඳ හිත’ යනුවෙන් ද ප්‍රකටය.

නමුත් ඔහු සම්බන්ධ විශේෂ පුවතක් මේ දින වල මාධ්‍යවලින් පැතිර යමින් තිබේ. ඒ පසුගිය 09 වන බදාදා කළුබෝවිල රෝහලේ ‍ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධූ ගේ සුව දුක් බැලීම පිණිස කළුබෝවිල රෝහලට ගොස් සිටි සිරි කහවල කලා කරුවා එම රෝහල් භූමිය තුළදීම මෝටර් රථ අනතුරකට මුහුණ පා එම රෝහලටම ඇතුල් කිරීමය.

මේ වන විට ඔහු එහි විසි වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ ඒ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් ඔහුගේ සුවදුක් බැලූ අවස්ථාවකි.

ඇත්තටම මොකද වුණේ?

පහුගිය 09 වෙනිදා මම බලංගොඩ සරත් මධූ බලන්න ආපු වෙලාවෙ මෝටර් රථයකට හසුවීමෙන් මගේ කකුලට හානි සිද්ධ වුණා.  දැන් ඒකට ශෛල්‍ය කර්මයක් කරන්න වෙලා තියෙනවා; ඒ සඳහා මම දැන් 20 වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

සෑම කලා කරුවෙකුගේම උපන්දිනයට නොවරදවාම සුභ පතන කලා කරුවා ඔබ බව ප්‍රසිද්ධ රහසක්; කොහොමද ඔබ ඒ දේ කරන්නේ?

මගේ ළඟ අපේ රටේ කලා කරුවන් 2500 කගේ පමණ ලිපින සහ දුරකථන අංක තියෙනවා. මම ඒ සෑම කලා කරුවෙකුගේම උපන්දිනයට දින දෙක තුනකට කලින් මම සකස්කරගත්තු විශේෂ උපන්දින සුභ පැතුමකින් පිටපතක් තැපැල් කරලා යවනවා. ඒ වගේම නියමිත දවසෙ උදේ ඒ කලා කරුවාට දුරකතනයෙන් සුභ පතනවා. මේ විදිහට දිනපතාම කලා කරුවන් 5 - 10 අතර ප්‍රමාණයකට මම සුභ පතනවා.

ඒ නිසා ද ඔබට ‘මිස්ටර් හොඳ හිත’ කියන්නේ?

වෙන්න ඇති මගෙ හිතේ.

ඔබ ලේඛන කලාවට සම්බන්ධවෙලා කොච්චර කල්ද?

අවුරුදු 59 ක් වෙනවා. 1958 කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ තමයි මම ලේඛන කලාවට සම්බන්ධ වුණේ. හින්දි සිනමා තොරතුරු තමයි මම වැඩිපුරම ලිව්වේ. ඒ හැරුණු කොට අපේ කලා කරුවන් පිළිබඳ ලොකුම තොරතුරු එකතුව තිබෙන්නෙත් මා ළඟයි. ‍

අපේ රටේ සෑම කලා කරුවෙකු අතරේම හොඳ හිත පැතිරවීම සම්බන්ධයෙන් නම් දැරූ කලා කරුවා ඔබයි. නමුත් ඔබ හදිසි අනතුරට ලක්වූ අවස්ථාවේ සිට කලා කරුවන් කී දෙනෙක් ඔබේ සුව දුක් විමසා සිටියාද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නීලා වික්‍රමසිංහ වගේ අය මා ගැන විමසා බැලුවා. සුදත් රෝහණ, වෛද්‍ය කපිල සූරියාරච්චි මට  විශේෂයෙන් උදවු කළා.

ඒ වුණාට 2500 යෙන් තව සෑහෙන ගණනක් ඉතුරුයි නේ?

ඒ වුණාට මගෙන් කලා ලෝකේ කලා කරුවන්ගේ ලිපින සහ දුරකතන අංක ඉල්ලා ගන්නා රසිකයන් සැලකිය යුතු පිරිසක් මගේ සුවදුක් විමසා සිටියා.

ඔබේ සුවදුක් විමසීම සම්බන්ධයෙන් අපේ කලා කරුවන් දක්වන ප්‍රතිචාර ඉතාම දුර්වල මට්ටමක තියෙනවා කියා මා සඳහන් කළොත්?

අනේ අනේ කීයටවත් එහෙම නම් දාන්න එපා; ඒක ඒ අයට කරන මදි පුංචි කමක්; අපි එහෙම කාටවත් මදි පුංචි කම් කරන්න හොඳ නෑ ඒක පව්.

සිරි කහවල කලා ලොවේ’ මිස්ටර් හොඳ හිත’ යනුවෙන් හඳුන්වනුයේ කලා කරුවන්ගේ උපන්දින වලදී සුභ පතන නිසාම නොවන බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් වුව  ඔබටද මැනවින් තහවුරු වනවා ඇත.

ඔහුගේ ජංගම දුරකතන අංකය - 0714454251



එස්.ටී.පී.සිල්වා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment