ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයට ඉදිරි පැය කිහිපය ඇතුළතදී බිහිසුණු සුළි කුණාටුවක් කඩා වැදීමට නියමිත බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ අනුව, 4 වැනි කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබෙන ‘හාවි සුළි කුණාටුව’ පැයට කිලෝමීටර 175 ක වේගයකින් දැඩි සුළං සහිතව වෙරළ තීරය වෙත ළඟා වීමට නියමිත ය.
ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පවසන්නේ මෙක්සිකෝ බොක්ක හරහා ඇදී එමින් තිබෙන මෙම සුළි කුණාටුව හෙවත් ‘හරිකේන් හාවි’ ජීවිත තර්ජන ඇතිකිරීමට සමත් බවයි. ජාතික හරිකේන් මධ්‍යස්ථානය විසින් ද මෙම කාරණය අවධාරණය කර තිබේ. අඟල් 40 ක (අඩි 3.3ක හෙවත් සෙන්ටිමීටර 102) ක දැඩි වර්ෂාපතනයක් මෙයින් අපේක්ෂා කෙරෙන අතර හුස්ටන් අවට ප්‍රදේශවලින් දැඩි ගංවතුර තත්වයක් අපේක්ෂිත ය. ටෙක්සාසයේ තෙල් පිරිපහදු කර්මාන්තයේ හදවත වශයෙන් සැලකෙන 320,000ක ජනතාවක් පදිංචි ව සිටින කෝපුස් ක්‍රිස්ටි නගරය මෙම හරිකේන් කුණාටුවේ ගමන් පථය තුළ පිහිටා තිබෙන බව ද අනාවරණය වේ.
ආරක්ෂිත ස්ථාන කරා යාමට අසමත් වන යම් කෙනෙක් වෙතොත්, ඔවුන්ට තම සමාජ ආරක්ෂණ අංකය (Social Security Number) අත්වල ලියාතබා ගන්නැයි ද බලධාරීන් විසින් ඉල්ලීමක් ද කර තිබේ.
අවසන් වරට ඇමරිකාව 4 වැනි කාණ්ඩයේ සුළි කුණාටු සමයකට මුහුණ දුන්නේ මෙයට වසර 12 කට පෙර ය. එම ‘විල්මා’ සහ ‘කත්රිනා’ සුළි කුණාටු හේතුවෙන් පුද්ගලයන් 2000 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්විය.
0 comments :
Post a Comment