මහින්ද පොහොට්ටුවෙන් ඡන්දයට.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ කැම්බල්පිටියේ පැවැති  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 66 වැනි සංවත්සර උත්සවයට සහභාගි වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාතර දිස්ත්‍රික්කයේ ජන සහභාගීත්වයෙන් පැවති උත්සව කිහිපයකට ඊයේ (03දා) සහභාගි විය.

දෙනියාය,හක්මණ,මොරවක ආදී ස්ථාන කිහිපයක පැවැති  මහජන රැස්වීම් හා විහාරස්ථාන කිහිපයක පැවැති උත්සව සඳහා හිටපු ජනාධිපතිවරයා සහභාගි වී සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් එක්ව සිටින බැවින් ශ්‍රීලනිප  66 වැනි සංවත්සරයට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම  විසින් ගෙන තිබූ තීරණය මත ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ කිසිදු මන්ත්‍රීවරයෙකු කැම්බල් පිටියේ පැවැති සංවත්සර උත්සවයට සහභාගි නොවුණි.

මහින්ද රාජපක්‍ෂ මහතා සමග ඒකාබද්ධ විපක්‍ෂයේ ඩලස් අලහප්පෙරුම,රංජිත් ද සොයිසා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද යාපා අබේවර්ධන, නාමල් රාජපක්‍ෂයන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මාතර රැස්වීම්වලට ඊයේ (03දා) දිනයේදී එක්ව සිටියහ.

66 වැනි සංවත්සරයට සහභාගි වන්නැයි දැක්වෙන ආරාධනා පත්‍රය මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්යාලයට ආරක්‍ෂක නිලධාරින් විසින් බාරදී තිබුණේ එම උත්සවයට දින දෙකකට පෙර වන අතර, ඒ වනවිටත් හිටපු ජනාධිපතිවරයා කලින් බාරගත් උත්සව ගණනාවකට සහභාගි වීමට තීරණය කර තිබිණි.

මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන්  පැවැති පක්‍ෂයේ සංවත්සර උත්වයකට තමන් සහභාගි වූයේ නිවැරදි වනු ඇතැයි විශ්වාසයෙන් බවත්,එවැනි උවමනාවක් වත්මන් පක්‍ෂයේ නායකයන්ට නොතිබුණු බැවින් පසුගිය වර  සමුළුවටද තමන් සහභාගි නොවුණු බවත් මහින්ද රාජපක්‍ෂ මහතා  මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක සිටින පක්‍ෂයක සංවත්සර උත්සවයකට තමන්ට සහභාගි වීමට නොහැකි බවත්,පාක්ෂිකයන් බහුතරයක් දෙනාගේ මතයට තමන් කන්දෙන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

මේ අතර, ශ්‍රීලනිපයේ 66වැනි සංවත්සරයෙන් පසුව පක්‍ෂයේ අර්බුදය උග්‍රවනු ඇති බවත්,ඉදිරි කාලය එම පක්‍ෂයට තීරණාත්මක වනු  ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ බහුතර කැමැත්ත මත තෝරාගනු ලබන දේශපාලන තීරණයන් අනුව නායකත්වය සපයනු ඇති බවද වාර්තා වේ.

මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වූ ඊයේ පැවති රැස්වීම්වලදී ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවත්,ජනතාව උද්යෝගයෙන් ඒ සඳහා එක්ව සිටි බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවත්සරයේදී පැමිණ සිටි ජනතාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, පක්ෂයේ 66 වැනි සංවත්සරය සමරන විට තමන් පක්ෂ සංවත්සර 50කට හා මැයි දින රැලි 50කට සහභාගි වී තිබෙන බවයි.

පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන වගකීම සේම රට ඉදිරියට ගෙන යෑමේ වගකීමද තමන් බාරගෙන සිටින බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

මේ අතර මාතර ජනරැලි වලට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ(03දා) සඳහන් කළේ ඒකාබද්ධව පොදු එකතුවකින් ඊළඟ මැතිවරණයට සූදානම් වන බවය.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර තිබුණේ නම්, මන්ත්‍රීවරුන් 113 දෙනෙකු පත්කර ගැනීමට හැකියාව තිබුණු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මොරවක ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන රැස්වීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“මේ අය වැඩකරන්නෙ නැතිව අපේ පවුලට ඇඟිල්ල දිගු කරනවා.ඔක්කොම හිරේ දානවා කියනවා. අපේ පැත්තේ ඉන්නේ හොරුලු.නමුත් ආණ්ඩුවේ එක ඇමතිකෙනෙක්  තවත් ඇමතිකෙනකුට හොරා කියනවා.නැව් ගත්තා කියනවා. වරායෙන් හොරා කෑවා  කියනවා.ඒ කට්ටිය, ඒ කට්ටියටම  බැණ  ගන්නවා.අපේ ළඟ ඉඳලා ඒ පැත්තට ගිය අය තමයි මේ  බැණගන්නේ.අපේ ගාව හිටිය හොරු ටික ඒ පැත්තට ගිහිල්ලා. ඒ නිසා අපි පිරිසුදු වෙලා තියෙනවා.හිර ගෙවලවල දැම්මත් හිරගෙවල්වලසිට අපි සටන මෙහෙයවනවා.

අපි ඒකාබද්ධව විපක්‍ෂයක් හදලා තියෙනවා.සියලු දේශපාලන පක්‍ෂ අපිත් එක්ක ඉන්නවා.ගියපාර අපි ශ්‍රී ලංකා එකෙන් ඉල්ලලා අපි පරාද වුණා. අපි රට වටේ ඇවිදලා වැඩකරගෙන යද්දී ලේකම් අස්කළා.අගමැතිකම දෙන්නෑ කිව්වා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා හදලා තිබුණා නම්, අපි එදා 113 ගන්නවා.

නමුත් අපට ශ්‍රී ලංකා එක කඩන්න ඕනනැති හින්දා එකතු කරගෙන යන්න අපි මහන්සි ගත්තා. අන්තිමට පැරදුණු අයට ඇමතිකම් දීලා ඒ අයව යොදාගන්නවා අපට බණින්න.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපේ සුභපැතුම් පුදකරනවා. අපි ඒකාබද්ධව පොදු එකතුවකින් තමයි ඊළඟ මැතිවරණයට සූදානම් වෙන්නෙ" යනුවෙන් පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment