ආදරයට ඉඩක් වෙන් කරන්න

ආදරයට ඉඩක් වෙන් කරන්න
ආදරය තහනම් වෙච්ච ලෝකයක් කොයිතරම් කැතද. සිපගත්තාම හිරේදාන ලෝකයක් කොයිතරම් කුහකද. ආදරය වරදක් විදිහට සම්මතයක් තියාගෙන වෛරය වපුරන්න බිම හදලා දීලා මරාගන්නකොට ඒකටත් අකමැති ලෝකයක් මේක.
 
ඉතින් ඒ ආදරණීය බැඳීම් ගලපාගැනීම, අනෙකාගේ අනෙකා වීම ,  හැඟීම් වලට කතා කිරීම, අනෙකාගේ හැම වචනෙකටම තමන්ගෙ ශ්‍රවණ ස්නායු ඇතුලෙ ඉඩක් වෙන් කිරීම කොයිතරම් සීරුවට කරන්න ඕනෙ දෙයක්ද.. තමන්ගෙ සිතුම් පැතුම්වල වහලෙක් නොකරගෙන , ඒවට නතු කර නොගෙන හැඟීම් සමූහ ද්විත්වයක් එකතු කරගෙන ඒ මත ජීවිත දෙකක බර තියන එක කොයිතරම් අමාරුද.. ක්ෂනිකව බිඳි යන්න පුළුවන් මකුළු දැලක් වගේ සීරුවට පරිස්සම් කරන්න ඕනෙ හැඟීම් දම්වැලක්ද..
 
ඉතින් ඔබ එකතුවුන අනෙකා ඔබේ හැඟුම් හා අනෙකාගේ හැඟුම් ඒ හා සමාන අනෙක් සියල්ලන්ටම වඩා බොහෝ දුරට සමපාත වන නිසානම් ඒවා ඒ අයුරින්ම තිබෙන්නට ඉඩහරින්න.
 
ඒවා ඈත් වීමට ඉඩ නොදෙන්න..කාලය සමග , ඔබේ දිවිය ගෙවෙන ආකාරය අනුව එසේ වීම අතිශය සාමාන්‍යයය. නමුත් එය ඔබේ අනෙකාගේ හදවත පිපිරෙනා තරම් දරුණු වේදනාවක් විය හැක. ඉතින් ඉඩ ඇති හැම මොහොතකම ළං වෙන්න.. එය මේ ලියන මට ද කල හැකි කාර්‍යයක් නොවන බව මම දනිමි. නමුත් එසේ කිරීමට උත්සහ කරමි. දවසේ ආදරණීයම කාලය රාත්‍රිය බව නිශාචරයෙකු ලෙස මම අත්දැකිමෙන් දනිමි. ඉතින් අර ආදරණීය හැඟුම් වලට ඉඩ දෙන්න.. ඔබේ ආදරණීය අනෙකාගේ හැඟුම් බෙදා ගන්න.. ඇවිදින්න රැය පුරාම. අත්පටලාගන්න.. ඔබේ ආදරණීය හැඟුම් නැවතත් ඔබ දෙදෙනාව එක් කරනු ඇත.
 
ඔබේ සෙවනැල්ල යනු ඔබේම නිරූපණයයි. සෙවනැල්ල ආලෝකයේදී පමණක් ඔබ සමග සිටියි. දිවා කාලයේදි අපි ලෝකයට ඕනෑ අයෙකු ලෙස රඟපාන්නෙමු. ඉතින් එසේ බාහිරය හා ගැටීමේදී ඔබේ ආදරණීය අනෙකාව යම් තැනක දී ඔබට මගහැරී යා හැක. ඉතින් සෙවනැල්ලෙන් මිදෙන්න.. ලෝකයට ඕනෑ චරිතයෙන් මිදෙන්න. ඔබ ඔබම වන්න.. සෙවනැලි නොමැති රාත්‍රිය එයට සුදුසුම වේලාවයි. අනෙක් සියලු රාජකාරි අමතක කර ඔබේ ආදරණීය අනෙකා වෙනුවෙන් හදවතට වචනයක් මුමුණන්න. අනෙකාගෙ අනෙකා වූයේ ඔබ මිස ලෝකයට අනුව ඔබ ලෙසින් රඟපානා පුද්ගලයා නොවන බව අනෙකාට කියන්න.
 
රැයෙහි කරනා ඒ මිමිණීමෙන් නැගෙන මද සිනහව., හසරැල්ල ඔබේත් ඔබේ ආදරණීයයාගේත් හැඬුම් දුක් කඳුළු සිරකර දමනු ඇත. ඔබේ ආදරණීය බැඳීම ආත්මීය වනු ඇත.
 
ඉතින් ආදරවන්තයනි.. නැවතත් දිවා කාලය උදාවී සෙවනැලි අවදි වී ඔබ දෙදෙනා අතරට ලෝකයා ඉල්ලන නළුවන් දෙදෙනා පැමිණීමට ප්‍රථම හිමිදිරියේම වෙන් වන්න.. නැවතත් වියතක් දුරින් හිඳ රැයෙහි ළං වී හඳපානේ ඇවිදින , ආදරණීය වදන් මුමුණන අදහසින් වෙන්වන්න...
 
ප්‍රේමය ලබාගැනීමට වඩා දිනාගත් හදවත් රැකීම පහසු නොවනු ඇත. ඉතින් ඔබේ ආදරණීය අනෙකා වෙනුවෙන් එය උත්සහ කරන්න. ප්‍රේමය දිනාගැනීමට වඩා දිනාගත් ප්‍රේමය රඳවා අනෙකාගේ හදවතට කතාකරනා මේ ගීයට මම පෙම් කරන්නේ එබැවිනි.
 
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ
 
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳපානේ මද අඳුරේ
 
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
 
ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - වික්ටර් රත්නායක
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
 
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment