විභාග වංචාවේ පියාට සහ පුතුට ඇප ලැබීමේ ඇතුළත කතාව - දෙවන හෙළිදරව්ව

විභාග වංචාවේ පියාට සහ පුතුට ඇප ලැබීමේ ඇතුළත කතාව - දෙවන හෙළිදරව්ව

 

නීතීඥ ගාස්තුව ලක්ෂ 30ක්

අදාල සිසුවාගේ පියා වන පොලිස් රෝහලේ දන්ත වෛද්‍යවරයා මෙම නඩුව වෙනුවෙන් සේවය ලබාගෙන තිබෙන්නේ නීතීඥ සුමිත් පරාක්‍රම පෙරේරා ගෙනි. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු වලට පෙනී සිටින මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) දැනටත් අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති බී.ආර්. එස්. ආර්. නාගහමුල්ලගේ සමීප මිතුරෙකි. නීතීඥ සුමිත් පරාක්‍රම මෙම නඩුව වෙනුවෙන් ලබාගෙන ඇති නීතීඥ ගාස්තුව රුපියල් ලක්ෂ 30කි. ඔහු ඒ බව ප්‍රසිද්ධියේම පිළිගෙන ද තිබේ. ඒ පිළිබඳව අපට කිසිදු ගැටළුවක් ද නැත. 

නාගහමුල්ලට පෙර CIDයේ අධ්‍යක්ෂකවරයාව සිටියේ ආදි රාජකීයයකු වන නියෝජ්‍ය පොලිස් පති මහේෂ් පෙරේරා ය. ඔහු පසුගිය සතියේ CIDයට දුරකථනයෙන් අමතා විමසා තිබුණේ " තමුන් විභාග වංචා සැකකරුවන්ට ඇප ලබා දෙනවා නේද ?" යනුවෙනි. CID නිලධාරීන් පිළිතුරු ලබා දී තිබුණේ විමර්ශන තවමත් අවසන් නොමැති බැවින් ඇප ලබා නොදෙන බවය. එහෙත් මහේෂ් පෙරේරා මහතා ස්ථිර ලෙසම CIDයට නැවත පවසා තිබුණේ "නැහැ, ඔයගොල්ලෝ එයාලට ඇප දෙනවා" යනුවෙනි. CID නිලධාරීන් එතෙක් නොදත් කුමන්ත්‍රණය මහේෂ් පෙරේරා මහතාට ආරංචී වී තිබුණු අතර මෙය හෙළිදරව් වන්නේ ඔහුගේ මැදිහත්වීම නිසාය. 

නාගහමුල්ලගේ සුපිරි සමුගැනීමේ සාදය 

නව අධ්‍යක්ෂකවරයකු පත් වූ සැණින් නාගහමුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් විය යුතු නිසා ඔහුගේ සමුගැනීමේ සාදය මීගමුව කොච්චිකඩේ ප්‍රසිද්ධ හෝටලයකදී පසුගිය සතියේ දිනක පැවැත් වුණි. මීට CIDයේ ඉහළම සිට පහළම දක්වා සියළුම නිලධාරීන් සහභාගී වී ඇත. එතැනදී නාගහමුල්ල නි.පො.වරයා විසින් නීතීඥ සුමිත් පරාක්‍රම පෙරේරාව මෙම විභාග වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන CID නිලධාරීන් කණ්ඩායමට හඳුන්වා දී තිබේ. එයින් පසුව නාගහමුල්ල CID අධ්‍යක්ෂකවරයා ම මෙම විභාග වංචා විමර්ශන කණ්ඩායමට දිගින් දිගටම බලපෑම් කර ඇත්තේ ඇප ලබා දීමට උසාවියේදී විරුද්ධ නොවන ලෙස ය. අවසානයේ ගම්පහ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා විසින් සැකකරුවන්ට ඇප නියම කෙරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ම අධ්‍යක්ෂකවරයා කළ අපරාධයක ප්‍රතිඵලයක් ලෙස පොලිසිය විරුද්ධ නොවුණු නිසාය. 

නීතීඥ සුමිත් නීතීඥ ගාස්තු ලෙස වෛද්‍ය බංගම ආරච්චිගෙන් ලබාගත් ලක්ෂ 30 තනිකර ම ඔහුගේ ගාස්තුව නොවන බවත් ඊට තවත් අයගේ සන්තෝසම් ද ඇතුළත් බවත් අප වෙත වාර්තා වී ඇත. මහේෂ් පෙරේරා ‍නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන ආකාරයට නාගහමුල්ලගේ සමුගැනීමේ සාදයේ වියදම දරා ඇත්තේ ද නීතීඥ සුමිත් පරාක්‍රම විසිනි. කොටස් බෙදී ගිය ආකාරය කෙසේ වෙතත් ලක්ෂ 30 කීප දෙනෙකු අතට ම ගොස් ඇති බව පැහැදිලිය. නීතිය නැවෙන්නේ කොළය බර වැඩි වන තරමට බව ලාංකික අපගේ සාමාන්‍ය දැනීමය. 

බංගම ආරච්චි "නියම දත් දොස්තර කෙනෙක්"

මෙහි දරුණුම කොටස මෙය නොවේ. ජිනේන්ද්‍ර රණසිංහ ටියුශන් ගුරුවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී වෛද්‍ය බංගම ආරච්චි ඔහුට දුන් රුපියල් ලක්ෂ 10ක මුදලක් CIDයට හමු වූ බව අපි පෙර පුවතකින් වාර්තා කළෙමු. ඉන් පසුව CIDය ගොස් ඇත්තේ පොලිස් දන්ත වෛද්‍ය බංගම ආරච්චිගේ නිවස පරීක්ෂා කිරීමටය. ඔහුගේ නිවසේ තිබී CIDයට රුපියල් ලක්ෂ 90ක මුදල් හමු වී ඇත. මේ පිළිබඳව විමසීමේදී දන්ත වෛද්‍ය බංගම ආරච්චි පවසා ඇත්තේ ඒවා තමන් පුද්ගලික වෛද්‍ය සේවයෙන් උපයාගත් ඒවා බවයි. 

වෛද්‍ය බංගම ආරච්චි 'නියම දත් දොස්තර කෙනෙක්' ලෙස නම් පෙනී යන බව ඇත්තකි. එහෙත් ඔහු දතක් ගැලවීමට ලක්ෂ ගණනින් මුදල් ගන්නවා විය නොහැක. එසේම ඒවා බැංකුවක තැන්පත් නොකර නිවසේ තබා ගැනීම ඊටත් සැක සහිතය. මේ පෑදී තිබුණේ වංචාවන් වැලක මුලකි. CIDය සැක කර ඇත්තේ ඔහු තවත් සිසුන් පිරිසකගෙන් මෙම විභාග වංචාව සඳහා මුදල් ලබාගෙන ඇති බවකි. නොඑසේ නම් විභාග වංචා ව්‍යාපාරයක් කර ඇති බවකි. විමර්ශන කටයුතු දීර්ඝව කළ යුතු වූයේ එනිසාය. එහෙත් ලක්ෂ 30ක මුදල් බලයෙන් සහ CIDයේම අධ්‍යක්ෂකවරයාගේ ශක්තියෙන් අද ඔහු ඇප පිට නිදහස් ය. 

මෙම අපරාධ සමූහය පිළිබඳ තවත් තොරතුරු ලංකා නිව්ස් වෙබ් ඉදිරි හෙළිදරව් කිරීම් වලින් බලාපොරොත්තු වන්න. 

එසේම මේ පිළිබඳව CID අධ්‍යක්ෂක බී. ආර්. එස්. ආර්. නාගහමුල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට යමක් පැවසීමට ඇත්නම් ඊට ද ඉඩ වෙන් කිරීමට අප සූදානම් ය.

සබැඳි පුවත් - 

විභාග වංචාවේ පියාට සහ පුතුට ඇප ලබා දීමට පොලිසියට බලපෑම් !

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment