මහින්දගේ දේශපාලන උගුලට මෛත්‍රී අහුවෙයිද ?

මහින්දගේ දේශපාලන උගුලට මෛත්‍රී අහුවෙයිද ?

 

මෙසේ ආණ්ඩුවට පැන ගැනීමට සූදානම්ව සිටින සියලු දෙනාම පාහේ නොයෙකුත් වංචා, දූෂණ සහ මිනී මැරුම් චෝදනාවන්ට ලක් වූවන් ය. 

කෙහෙළියගේ ෆෝන් බිල් සහ පයිප්ප 

මුලින්ම මෛත්‍රී සමඟ එක් වීමට සූදානමින් සිටින්නේ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ය. කෙහෙළියට අදාලව රටම දන්නා චෝදනා ගණනාවක් ඇති අතර ජනමාධ්‍ය ඇමතිවරයාව සිටියදී තමන්ට හිමි 40,000ක දුරකථන දීමනාව ඉක්මවා ලක්ෂ දෙකකට අධික දුරකථන බිලක් පැමිණි පසු එය රාජ්‍ය මුද්‍රණ සංස්ථාව මඟින් පියවා ගැනීම සඳහා එහි සභාපතිවරයාට බල කිරීම සම්බන්ධයෙන් දැනට නඩුවක් පවතී. එසේම පසුගිය ජනාධිපතිවරණ සමයේ ජාතික රූපවාහිනී සංස්ථාවට ජී. අයි. පයිප්ප මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව නඩුවක් තිබේ. කෙහෙළියට ශ්‍රීලනිපය සහ මෛත්‍රී ගැන ආදරයක් ඇති වන්නේ මෙවන් වටපිටාවක වන අතර ඔහු ඊටත් මිලක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය මෛත්‍රීගෙන් ඉල්ලා තිබේ. එහෙත් එයෙ එක්සත් ජාතික පක්ෂයට අයත් ඇමති ධුරයක් බැවින් එය ලබාදිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා තමන් යටතේ පවතින මහවැලි සංවර්ධන අමාත්‍යාංශය කෙහෙළියට දෙන්නට පොරොන්දු වී තිබේ. 

ජනක සහ චොකාගේ කොකා ගැස්සිලි

එසේම දැනට මිනී මැරුම් චෝදනාවන්ට ලක්ව සිටින ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරු ද මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කරනා ලැයිස්තුවෙහි ඉදිරියෙන් ම සිටිති. 1999 වසරේ සිදු කළ මිනී මැරුමක් සම්බන්ධයෙන් ජනකට ද  2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර දී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට ද එරෙහිව නඩු විභාග වන අතර මියගිය පුද්ගලයින්ගේ මරණාසන්න ප්‍රකාශ හේතුවෙන් මොවුන්ට නීතියෙන් ගැලවීමක් නොවන තැනට කටයුතු යෙදෙමින් පවතී. ඔවුන්ට මෛත්‍රිය මතක් වන්නේ ඒ නිසාය. 

අල්ලස් දූෂණ කප්පිත්තෝ 

එස්. එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා ද පෙරකී 11 දෙනා අතර ඉදිරියෙන් හිඳින්නෙකි. 2014 වසරේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී බඩ ඉරිඟු බීජ බෙදා හැරීමක වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. තවත් නමගිය චරිතයක් වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ය. ඔහු හිටපු ක්‍රීඩා ඇමතිවරයාය. අයථා ආකාරයෙන් මුදල් ඉපයීම, විදෙස් වත්කම් මිලදී ගැනීම පිළිබඳව මුදල් විශුද්ධිකරණ චෝදනා, වෘත්තීය සමිති මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම, දුම්රිය දෙපාර්තමේන්තු ඉඩමක් අයථා පරිහරණය ඇතුළුව ඔහුට එරෙහි චෝදනා ගොන්නකි. කෙළි එළි වෙන මොහොතේ මහින්දානන්දත් මෛත්‍රී සරණ යාමට සූදානම් ය. තවෙකෙක් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුය. සමූපකාර සහ පාරිභෝගික කටයුතු ඇමතිවරයාව සිටියදී සතොස සේවකයින් 153 දෙනෙකු රාජකාරියෙන් බැහැරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල යොදවා රජයට හාර කෝටියකට අධික මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් නඩුවක් ඔහුට එරෙහිව තිබේ. තවත් චෝදනා ඔහුට එරෙහිව ඇත. මේ දූෂිතයින් සියළු දෙනාම සිටින්නේ යළි ගොඩ ඒමක් නොමැති ප්‍රපාතයක් ආසන්නයේය. 

මාත් පනිනවා - මහින්ද 

ඒකාබද්ධ විපක්ෂය යනු මහින්ද රාජපක්ෂගේ නිල නොවන දේශපාලන පක්ෂයයි. එයින් 11 දෙනෙකු මෙසේ හිටි හැටියේ ආණ්ඩුවට පැනීම යනු මහින්ද නොදැන සිදුවන්නක් නොවේ. මෙය මහින්ද නොදැනුවත්ව සිදුවන්නක් හෝ ඔහුගේ අනුදැනුමින් තොරව සිදුවන්නක්යැයි කියන්නේ නම් එය මහින්දගේ ගඩ්ඩ කපටිකමටම කරන නිග්‍රහයකි. මහින්ද රාජපක්ෂ විසින් අදාල 11 දෙනා වෙත පවසා ඇත්තේ ඔවුන්ට එරෙහි නඩු දැනට ගොඩ ගත නොහැකි මට්ටමේ පවතින නිසා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වෙත ගොස් සහනයක් ලබා ගන්නා ලෙසය. ලැබෙනා දෙයක් වෙතත් ගන්නා ලෙසය. වෙලාව එනතෙක් ඉවසා ඉන්නා ලෙසය. තමන්ගේ පණිවිඩය ලත් සැණින් නැවතත් කඩාගෙන එන ලෙසය. 

මෑත දිනක සාංඝික දානයක් පැවති නිවසක තම හිත මිතුරන් පිරිවරා කතාවෙහි යෙදී සිටියදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එළිපිටම පවසා තිබුණේ "හරි ඔෆර් එකක් දෙනවා නම් මම නාමල්වත් ආණ්ඩුවට යවනවා, ඒ කරලා මමත් යනවා" යනුවෙනි. මේවා හුදෙක් විහිළු කතා ම නොවේ. 

කඳවුර ඇතුළතින් ම පහර දීම 

ඒකාබද්ධ විපක්ෂය දැනට සිටින්නේ ශක්තිමත් තත්වයක නොවේ. එහෙත් මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය තවමත් සැලකිය යුතු මට්ටමකින් පවතී. එවන් අවස්ථාවක මෙසේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ආණ්ඩුවට දන් දෙන්නේ කුමකටද යන්න දේශපාලනිකව විමසා බැලිය යුතුය. පිටතින් සිට පහර දීමට වඩා කඳවුර ඇතුළතින් සිට පහරදීමෙන් වන හානිය විශාලය. රාජපක්ෂ කඳවුර මෙසේ තම සාමාජිකයින් 11 දෙනෙකු මෛත්‍රී කඳවුරට එවන්නේ ඔවුන්ව පිළිගැනීමෙන් ආණ්ඩුවට වන නින්දාවේ පටන් ම ආණ්ඩුවට පහර දීමටය. ආණ්ඩුව දැනටත් වසර දෙකක් දිවෙන්නේ රනිල් - මෛත්‍රී එකඟතාවය නිසාය. රනිල් නොමැතිව මෛත්‍රීටත් මෛත්‍රී නොමැතිව රනිල්ටත් බලය පවත්වා ගත නොහැක. ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍යවන්නේ මේ එකඟතාව බිඳ දමා දෙදෙනාම දුර්වලයින් බවට පත් කිරීමටය. ඇතුළෙන් ම අවුල් ඇති කිරීම රනිල් - මෛත්‍රී එකඟතාව බිඳහෙළීමට මඟය. 11ක් එන්නේ ඒකටය. 

ඒකාබද්ධ විපක්ෂයෙහි කුජීත දූෂිතයින්, මිනීමරුවන් තම තුරුළට ගැනීමෙන් ආණ්ඩුවට හෝ මෛත්‍රීට සෙතක් නොවන බවත් වන්නේ ආණ්ඩුවත් කුජීත වී දිනෙක මෛත්‍රීත් අනාථ වීම බවත් මෙය මහින්දගේ උගුලක් බවත් මෛත්‍රීට සමීප ශ්‍රීලනිප නායකයින්ද, මෛත්‍රීගේ උපදේශකයින්ද, ඔහුට හිතවත් මාධ්‍යවේදීන්ද හොදීන් නොදන්නවා නොවේ. එහෙත් නොදන්නා සේ ඉන්නේ මෛත්‍රීගේ 'හොඳ පොතෙන්' තමන්ගේ නම කැපෙන්නට ඉඩ ඇතැයි යන බිය නිසාය. පක්ෂ සංවත්සරයක් ආසන්නයෙහි මෛත්‍රී මේ මොහොතේ කළ යුතුව ඇත්තේ අහක ඉන්නා මිනී මරුවන්, හොරුන් රෙද්ද අස්සේ දමා ගැනීම නොව 1977 පටන් වසර 40ක් තිස්සේ අසාධාරණයට ලක් වූ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ළං වී ඔවුන් තමන් වෙතට ළං කර ගැනීමය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment