නීතිය හා සාමය ඇමතිගේ ආසනයේ ආගමික අන්තවාදීන් කඳවුරු බඳී.


පෙරේදා (27) දිනයේදී දෙනියාය ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වී එහි අයිතිකරු සහ සේවකයන් බියවද්දා එම ව්‍යාපාරික ස්ථානය වසා දැමීමට කටයුතු කර තිබේ. ඒ සඳහා හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ ආගමික සංකේතයක් වන ධර්ම චක්‍රය ඇමිණූ මුදල් පසුම්බියක් එහි අලෙවිය සඳහා තබා තිබීමයි.

කෙසේ වෙතත් දෙනියාය පොලීසිය මැදිහත්වීමෙන් පසු අදාල ව්‍යාපාරිකයා පැහැදිලි කර ඇත්තේ එය ධර්ම චක්‍ර සංකේතය නොව එය නැවක සුක්කානමක ආකෘතියක් බවයි. පොලිස් ස්ථානාධිපතිවරයා එය පිළිගෙන ඇති අතර ව්‍යාපාරික ස්ථානය නැවත විවෘත කිරීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව ඔහු අදාල ව්‍යාපාරිකයාට දන්වා ඇත.

විශේෂත්වය වන්නේ මෙම අන්තවාදී ආගමික කණ්ඩායම් තර්ජනාන්විතව හැසිරෙමින් ව්‍යාපාරික ස්ථාන බලෙන් වසාදැමීමට කටයුතු කරන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ඡන්ද බල ප්‍රදේශය තුළ වීමයි. තම ආසනය තුළ නීතිය ආරක්ෂා කරමින් සාමය පවත්වාගෙන යාමට අසමත් නම් ඔහු රටක සාමය පිළිබඳ වගකියන්නේ කෙසේද යන ගැටලුව මතු වේ.

අන්තවාදී කණ්ඩායම්වල මෙවැනි ක්‍රියාත්මකවීම් වසර ගණනාවක සිට අප අත්විඳිමින් සිටී. එහෙත් ආණ්ඩුව තවමත් එවැනි කණ්ඩායම් අඩපණ කිරීමට සමත්ව නැත.

පසුගියදා භික්ෂූන් වහන්සේලා පිරිසක්, එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ රැකවරණය යටතේ මෙරට රැඳී සිටින රොහින්ග්‍යා සරණාගතයන් පිරිසකට තර්ජනය කර පහරදීමට කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවා කතාබහ කෙරිණි. මංගල සමරවීර සහ රාජිත සේනාරත්න ඇමතිවරුන් මෙම අන්තවාදී කණ්ඩායම් පාලනය කළයුතු බව අවධාරණය කර ඇති අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ඇතැම් අන්වාදී කණ්ඩායම් කටයුතු කළ ආකාරය නිසා රටට කලු පැල්ලමක් එක්ව ඇති බවයි.

රජයේ පාර්ශ්වයෙන්ම මේ පිළිබඳ ධනාත්මක කතාබහක නිර්මාණය වීම ඉතා වැදගත් වන නමුත් එය කතාබහට පමණක් සීමා වී තිබේ. එවැනි තත්වයක් තුළ අන්තාවදී කණ්ඩායම් පාලනය කිරීම සම්බන්ධයෙන් සෘජුව වගකිවයුතු නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ සාමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු සාගල රත්නායක මහතා අන්තවාදී කණ්ඩායම් හමුවේ මුණිවත රකිමින් සිටී. 

අන්‍ය ජාතීන්ගෙන් සහ අන්‍ය ආගමිකයන්ගෙන් සිංහල ජාතියට, බුදුදමහට තර්ජන එල්ල වී ඇති බව පවසමින් ආගමික අන්තවාදී කණ්ඩායම් නීතිය අතට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අතර ඔවුන් මේ ගමන් කරමින් සිටින්නේ තලේබාන්, මියන්මාරයේ 969 ව්‍යාපාරය වැනි දැඩි අන්තගාමී සංවිධාන ගිය මාවතේමය. මිනී මරා හෝ බුද්ධාගම රැකිය යුතු බව ඔවුන්ගේ අදහසයි. එවැනි අන්තවාදී කණ්ඩායම් හරහා ජාතියක් ආගමක් රැකෙන්නේ කෙසේද යන්න ගැටලුවකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment