මියන්මාර් සරණාගතයින්ට පහරදීමට පැමිණි පිරිසේ පැටිකිරිය 'කැෆේ' හෙළි කරයි.

මියන්මාර් සරණාගතයින්ට පහරදීමට පැමිණි පිරිසේ පැටිකිරිය 'කැෆේ' හෙළි කරයි.

 

පුවත්පත් නිවේදනය 

මියන්මාර් සරණාගතයින්ට හිංසා කළ පුද්ගලයින් සියළු දෙනා වහා අත්අඩංගුවට ගත යුතුය.

ගහන්න ගිය අයගේ පැටිකිරිය මෙන්න.  

මියන්මාර් සරණාගතයින්ට පහරදීම පැමිණි පිරිසේ සිටි වීරසේකර දේශාන්ත චිමිරුවන් රැද්‍රිගු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  ඔහු සමග ඩෑන් ප්‍රියසාද් හා ප්‍ර‍ගීත් චානක ගුණතිලක ද, භික්ෂූන් වහන්සේ තිදෙනෙකු ද සිද්ධියේ ප්‍ර‍ධාන සැකකරුවන් වෙති.

දේශාන්ත චමිරුවන් රැද්‍රිගු මොරටුව රාවතාවත්ත පදිංචිකරුවෙකි.  බොදුජන පෙරමුණ පක්ෂයෙන් ‘නයා‘ ලකුණින් මැතිවරණයකට තරග කළ ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 268 ක් හෝ 258 කි.   හිට්ලර් ගේ කෘති උපුටා දැක්වීමට ඔහු හුරුව සිටී. 

පොලීසිය සොයමින් සිටින අනෙක් පුද්ගලයා ප්‍ර‍ගීත් චානක ගුණතිලක හෙවත් බණ්ඩාර නැමති හිටපු පොලිස් නිලධාරියා ය.  ඔහු 2017 මැයි 17 පානදුරේ වෙළදසැලකට පෙට්‍ර‍ල් බෝම්බ ප්‍ර‍හාරය එල්ල කිරීමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත් වී නීතිඥ අජිත් ප්‍ර‍සන්න මහතා මැදිහත්ව අධිකරණයෙන් ඇප ලබාගත් පුද්ගලයා ය. (නීතිඥ අජිත් ප්‍ර‍සන්න ද සරණාගතයින්ට එල්ල වූ හිසංනය දැඩිව හෙළා දැක ඇත)

ගැටුමට සම්බන්ධ අනෙක් පුද්ගලයා ලෙස පොලිසිය ප්‍ර‍කාශ කරන ඩෑන් ප්‍රියසාද් ට ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම පිළිබද පැමිණිලි 6 ක් තිබේ.  ඒ අනුව, ගල්කිස්ස ප්‍ර‍හාරය සැලසුම් සහගතව ඇප කොන්දේසි උල්ංඝනය කරමින් එකම කණ්ඩායමක් නැවත නැවත සිදු කරන ‘නීති විරෝධී ප්‍ර‍චණ්ඩ කටයුත්තක් බව‘ පැහැදිලිය.  

ප්‍ර‍හාරයට සම්බන්ධ රත්මලානේ කාන්තාවක් ද අත්ඩංගුවට ගෙන ඇත.

මේ අතර බොදු බල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ   උපුටා ගැනීම  //බොදු බල සේනා නම, ලාංජන හා විශේෂයෙන් ඤාණසාර හිමිගේ ජායාරූප යොදා ගෙන රෝහින්ගා සරණාගතයින්ට එරෙහිව සෙනග රැස්කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ කටයුතු කරන බව දැනගැනීමට ලැබී ඇති අතර එම කටයුතු වලට අපගේ සම්බන්ධයක් නොමැති බව දැනුම් දෙමු.// උපුටා ගැනීම අවසන්.

සැලසුම් සහගත ලෙස යම් පිරිසක් ලංකාවේ හා අන්තර් ජාතික නීතිය උල්ලංඝනය කරමින් ද, මිනුෂ්‍යත්වයට නිගා දෙමින් ද දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඔවුන් වහා අත්අඩංගුව ගැනීම පොලීසිය සතු වගකීමකි. 

ගල්කිස්ස ප්‍ර‍හාරයට නායකත්වය දුන් අක්මීමන දයාරත්න හිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසිය තවමත් අසමත්වීම කණගාටුවට කරුණකි.

ජීනිවා මානව හිමිකම් සැසිවාරයේ අවසන් දින ලංකාවට එරෙහිව ලෝක ප්‍ර‍ජාව ගොනු කිරීමට අන්තවාදී දෙමළ ඩයසපෝරා කණ්ඩායම් මෙම සිද්ධිය උපයෝගී කර ගනිමින් සිටී.  ජිනීවා මානව හිමිකම් සැසිය අතර මෙම සිදුවීම ඇතිවීම ලංකාව මිලේච්ඡ මානව හිමිකම් නොතකන රාජ්‍යයක් ලෙස හංවඩු ගැනීමට හේතු වී ඇත.

ගල්කිස්ස සිද්ධියට  සම්බන්ධ භික්ෂුන් ඇතුළු සියළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක ශ්‍රී ලංකා පොලීසියේ වගකීමකි. 
 
- කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment