දේශපාලන සිරකරුවන් තිදෙනෙක් නැවතත් උපවාසයේ !

දේශපාලන සිරකරුවන් තිදෙනෙක් නැවතත් උපවාසයේ !

 

මදිඅරසන් සුලක්ෂන් සහ දර්ශන් ගනේශන් යන දෙදෙනාම යුද්ධය අවසානයේ ආරක්ෂක අංශ මඟින් අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළ පුද්ගලයින්ය. කෙසේ වෙතත් ඔවුන්ව නැවත ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත් අඩංගුවට ගෙන 2013 වසරේදී නඩු පවරා තිබේ. නඩුව විභාගයට ගෙන මාස තුනක් යන විට රජයේ නීතීඥයාගේ ඉල්ලීම පරිදි චෝදනා පත්‍රය සංශෝධනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇතත් එය වසර දෙක හමාරක් තිස්සේ නොලැබුණු හෙයින් ඔවුන් විසින් උපවාස ක්‍රියාමාර්ගයක් ගන්නා ලදී. ඉතා ඉක්මනින් සංශෝධිත චෝදනා පත්‍රය ලබා දෙන බවට නීතිපති දෙපාර්තමේන්තුව පොරොන්දු වූව ද එය පැමිණියේ වසර හතරක් කල් ගත වීමෙන් අනතුරුවය. එයින් ආර්. තිරුවරුල් ද විත්තිකරුවකු ලෙස නඩුවට එකතු කර තිබිණි. 

සංශෝධිත චෝදනා පත්‍රය අධිකරණයට ලැබීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට දින නියම කිරීමේදී යළිත් නීතිපති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ නඩුව වව්නියාව මහාධිකරණයෙන් අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කිරීමට කටයුතු කරන බවකි. ඊට විරෝධය පා ඉහත රැඳවියන් තිදෙනාම නැවත උපවාසයක නිරත වූ අතර නඩුව විභාග කිරීම සඳහා සැප්තැම්බර් 25,26,27 දින ලබා දීම හේතුවෙන් එම උපවාසය අත් හිටුවනු ලැබිණි. එහෙත් සැප්තැම්බර් 25 දින අධිකරණය වෙත ගිය ඔවුන්ට දැන ගැනීමට ලැබී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම නඩුව අනුරාධපුර මහාධිකරණය වෙත මාරුකර යවා ඇති බවය. 

HC-V 2491/2013 අංක දරණ මෙම නඩුව ආරම්භයේ පටන් විභාග කිරීමට නොදී කල් මැරීම නීතිපති දෙපාර්තමේන්තුවේ පිළිවෙත වී ඇති අතර දැන් අධිකරණය මාරු කිරීමෙන් ද සිදුවන්නේ තවත් අමතර කාලයක් ගත වීමය. එසේම අනුරාධපුර මහාධිකරණයෙන් නීතීඥවරුන් සොයා ගැනීමේදී ද විත්තිකරුවන්ට යළි අපහසුතාවකට මුහුණ පෑමට සිදු වේ. මෙම අසාධාරණයට විරෝධය පළ කරමින් ඉහත කී සිරකරුවන් උපවාසයේ නිරත වී සිටින අතර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සියළුම දේශපාලන සිරකරුවන් ඔවුන්ට සහය පළ කරමින් ඊයේ දිනයේ උපවාස කළ අතර හෙට දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් ද උපවාසයට එක් වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙසේ උපවාසයට එක් ව සිටින සිරකරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අද (03) උදෑසන 10.00ට යාපනය දෙමළ ජාතික සන්ධානයේ කාර්යාලය ඉදිරිපිටට රැස්වී විරෝධතාවක් දැක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරන අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගෙන් මෙම ගැටළුවට මැදිහත් වී විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටීමට එහිදී නියමිතය. 

- රුවන් නෙළුගොල්ල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment