IOC, 20%ක් තියාගෙන රට හොල්ලලා ඉවරයි - ඩී.ජේ.රාජකරුණා

IOC, 20%ක් තියාගෙන රට හොල්ලලා ඉවරයි - ඩී.ජේ.රාජකරුණා
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා මහතා සඳහන් කළේ  මේ වන විට සංස්ථාව 80%ක ඉන්ධන බෙදා හැරීම සිදු කළද පෝලිම් නවත්වා ගැනීමට අසමත් වී ඇති බවයි. ඉන්ධන වෙළෙඳපොළේ ස්වභාවය මෙය වන අතර 5% ක පමණ හිමිකමක් පැවතියද දැඩි අභියෝගයක් එල්ල කළ හැකි බව ඔහු සඳහන් කළේය. මෙවන් තත්ත්වයක් තුළ ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණයත් ඉන්දියාවට පැවරුව හොත් සංස්ථාවට සිදුවන්නේ බලාගෙන හිදින්නට බව රාජකරුණා මහතා පෙන්වා දුන්නේය. කොළොන්නාව මුතුරාජවෙල ටැංකි වලට වඩා වැඩි කාලයක් භාවිතා කළ හැකි ප්‍රමිතියෙන් යුක්ත බවට තාක්ෂණික ඇගයීම සිදු කර තිබියදී ඉන් ප්‍රයෝජනයක් නොගැනීම අභාග්‍යසම්පන්න තත්ත්වයක් බව හෙතෙම ප්‍රකාශ කළේය. 
 
එම ටැංකි සංකීර්ණය නිසි ලෙස භාවිතයට ගන්නේ නම් තෙල් බෙදා හැරීමේ පෙරදිග,අපරදිග මධ්‍යස්ථානයක් බවට පත් කළ හැකි බවයි රාජකරුණා මහතා කියා සිටියේ. මේ පිළිබඳ අගමැතිවරයා පවා දැනුවත් කර ඇති බව ඔහු පැවසීය . කෙසේ වෙතත් මේවන විට සැලසුම වී ඇත්තේ එම ටැංකි සංකීර්ණය වසර 55කට ඉන්දියානු තෙල් සමාගමට බදු දී පසුව එය වසර 99 දක්වාම දීර්ඝ කිරීම බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු  ඩී.ජේ.රාජකරුණා මහතා පැවසීය. ඒ පිළිබඳව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අගමැතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් එය මේ වන විට විෂයභාර අමාත්‍යාංශයට ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment