සුන්දර '60 දශකය..

සුන්දර '60 දශකය..

 

ඉහත මූලධාර්මික ගැටලුව මදකට පසෙකින් තබා උතුරේ ගැටලුවට අදාලව වමේ ස්ථාවරය හැඩ ගැසීමේ ඉතිහාසය දෙසට මදක් හැරෙන්නට මම යෝජනා කරමි. මන්දයත්, ජනවාර්ගික සුළුතරයේ අරගලය දක්ෂිනාංශික බලවේග අතට (සහ වඩාත් ප්‍රචණ්ඩ නායකත්වයන් අතට) පත්වීම සඳහා සියලු ප්‍රවණතාවල වාම දේශපාලනය කොතරම් දුරට වග කිව යුතුව තිබේදැයි සිහිපත් කර ගැනීම වැදගත් නිසාය.

අප කව්රුත් පාහේ දන්නා පරිදි අඩු තරමින් 1960 දශකයේ මුල් භාගය දක්වා සමසමාජ කොමියුනිස්ට් නායකත්වය දෘඪතර ලෙසම පීඩිත ජනවාර්ගික කණ්ඩායම්වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය. ස්වභාෂා ප්‍රතිපත්තියේ නියාමකයන් වූයේ වමය. එයට උතුරේත්, කඳුකරයේත් සැලකිය යුතු ජනතා සහයෝගයක්ද තිබිණ. බොහෝ විශ්ලේෂකයන් එකඟ වන පරිදි, මුල්කාලීනව වඩාත් රැඩිකල් වාමාංශික සංවිධානය වූයේ යාපනේ තරුණ සංගමයයි.

කුමාරි ජයවර්ධන තියුණු ලෙස සටහන් කරන පරිදි මේ මූලික ස්ථාවරයේ හැරවුමක් (එනම් බහුතර ජනවර්ගයේ ජාතිකවාදය දෙසට හැරීමක්) සලකුණු වන්නේ 1960 මුල් භාගයේදීය. ඒ මන්ද? ඊට ප්‍රචලිත පිළිතුර නම් 1964 සභාගයයි. එයින් සැබවින්ම සලකුණු වන්නේ විශේෂයෙන්ම 1956 ශ්‍රීලනිපයේ ජයග්‍රහණයෙන් පසුව (සහ එනයින් දක්ෂිණාංශික ද්වි-පක්ෂ ක්‍රමය ආරම්භ වීමත් සමග) පැරණි වමේ පක්ෂ මැතිවරණ දේශපාලනය තුළ පත්වූ අනාරක්ෂිතතාවයි. ඒ සමගම මැතිවරණවාදය තුළ වම ගිලී යාමයි.

එසේම, කුමාරි පෙන්වාදෙන තවත් වැදගත් කරුණක් නම් '64 සභාගයට පෙරම වමේ පක්ෂ ක්‍රම ක්‍රමයෙන් අධිපති සිංහල-බෞද්ධ ජාතිකවාදය සමග සම්මුතිගත වෙමින් තිබිණ. ඒ අනුව අපට කිව හැක්කක් නම් '64 දේශපාලන සම්මුතියට පෙර පටන්ම වම දක්ෂිණාංශික දෘෂ්ටිවාදය සමග සම්මුතිගත වෙමින් සිටි බවයි. පාර්ලිමේන්තුවාදී ඉදිරි දැක්මක් තුළ බහුතර සහ අධිපති කණ්ඩායම සමග සම්මුතිගත වීමේ පෙළඹීමක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. ඒ අනුව, පසුකාලීනව ඩඩ්ලි-චෙල්වා ගිවිසුමට එරෙහිව පාරට බසින්නටත් ("ඩඩ්ලිගේ බඩේ මසල වඩේ" යැයි කියමින්) 1972 සිංහල-බෞද්ධ සුපිරිතාව නීතිගත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන්නටත් වමේ නායකයන්ට හැකිවීම අරුමයක් නොවේ.

'64 දී වමේ සිදුවූ මේ හැරවුම මගින් වමට අහිමි වූ බලවේග දෙකක් සීලන් කදිර්ගාමර් හඳුනාගනී. එකක් නම්, ඒ වනවිට රැඩිකල්කරණය වෙමින් තිබූ ග්‍රාමීය තරුණ ජනයාය. වමේ රැඩිකල්හරණය ගැන කළකිරුණු මේ බලවේගය දිනා ගන්නට සමත් වූයේ විජේවීරය. දෙවැන්න, වමේ සිංහල ජාතිකවාදී නැඹුරුව ගැන කලකිරුණු උතුරේ වර්ධනය වෙමින් තිබූ දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරයයි. එහි නායකත්වය සඳහා අරගලයක් තිබූ අතර 1980 මුල් භාගය වන විට වාම නැඹුරුවක් සහිත දෙමළ විමුක්ති සංවිධාන පරයමින් එල්ටීටීඊ ය ආධිපත්‍යධාරී ලෙස පෙරට ඒ. උතුර සහ දකුණ අතර ඓතිහාසික අත්වැල බිඳී ගියේ එපරිදිය. එම අත්වැල යළි ගොඩ නගන්නට ජවිපෙ ඇතුළු ඊනියා නව වම කෙසේවත් සමත් නොවීය. ඒ වෙනුවට සිදුවූයේ එහි අනෙක් පැත්තය. 1980 දශකයේ මැද භාගය වනවිට ජවිපෙ සිංහල ජාතිකවාදයේ (ඊනියා දේශප්‍රේමයේ) ප්‍රධාන ප්‍රකාශකයා බවට පත්විය. විජේවීරගේ "දෙමළ ඊළාම් අරගලයට විසඳුම" පොත එම දක්ෂිණාංශික අපගමනයේ සාහිත්‍යමය ප්‍රකාශනයයි.

කෙටියෙන් කිවහොත්, උතුරේ සුළුතර ජනවර්ගයක විමුක්ති ව්‍යාපාරයක් දක්ෂිණාංශික නායකත්වයක් අතට ගියේ එසේය. එල්ටීටීඊ යේ සමූලික පරාජයෙන් පසුව උතුරේ දේශපාලනය සම්ප්‍රදායික ප්‍රභූ නායකත්වයක් අතට යළි යන්නේ දකුණේ (භුගෝලියව දකුණ) 'වම' තවමත් මෙරට දෙමළ ජනයා මුහුණ දුන් (සහ මුහුණ දෙමින් සිටින) ජාතික පීඩනය ආමන්ත්‍රණය කරන්නට අසමත්ව තිබියදීය.

දැන් ඇසෙමින් තිබෙන්නේ ජනයාට (නැත්නම් පංතියට) නොමැති ප්‍රශ්නයක් අන් අය බලෙන් ආරෝපණය කරන්නට හදනවාය යනාදී අදුරදර්ශී ප්‍රකාශයන්ය. ව්‍යසනකාරී යුද්ධයක අවසානයෙන් පසුව උතුර තුළ දිස්වන නිහඬතාව යමෙකු දකුණේ දේශපාලනය කෙරෙහි වන අවනතභාවයක් යැයි වටහා ගන්නවා නම් එතරම් නොමේරූ දේශපාලන අවබෝධයක් තවත් නැත. අප දේශපාලන ප්‍රවණතා,සහ චලනයන් වටහාගත යුත්තේ ඓතිහාසික දෘෂ්ටියකිනි. එහෙයින් වඩාත් බිහිසුණු ප්‍රශ්නය නම් අප මේ මොහොතේ ගොඩ නගමින් තිබෙන්නේ කවර ආකාරයේ අනාගතයක්දැයි යන්නය.

ඓතිහාසික දෘෂ්ටියකින් මේ ගැටළු වටහා නොගන්නා වමක් කරන්නේ 1960 දශකයේදී පැරණි වම කළාටත් වඩා දරුණු ප්‍රතිපල ඇති කළ හැකි වරදකි. '60 දශකය ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුවේ සන්නිදර්ශනාත්මක දශකයයි; සාහිත්‍යයේ සහ රංග කලාවේ ප්‍රබෝධමත් දශකයයි; පශ්චාත්-නිදහස් යුගයේ බුද්ධිමය පුනර්ජීවනයේ දශකයයි. නමුත් ලේ වැකි '70 සහ '80 දශකයන්හි බහු විධ සමාජ අර්බුධයන් සඳහා පදනම සැකසුවේද ඒ පුරෝගාමී '60 දශකය විසින්මය.

ඒ අරුතින් අප මේ යළිත් පසුකරමින් සිටින්නේ "සුන්දර '60 දශකය" විය නොහැකිද?

- සුමිත් චාමින්ද

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment