දළ පූට්ටුවාගේ ඝාතකයින් නිදහස් කිරීමේ උත්සාහයක්.

ගල්ගමුවේ දළ පූට්ටුවා නම් දැවැන්ත හස්තියා ඝාතනය කොට දළ කපාගෙන යාමේ සිද්ධිය යට ගැසීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වේ.

වනජීවි දෙපාර්තමේන්තුවේ සහ පොල්පිතිගම, අඹන්පොල යන පොලිස් ස්ථාන වලින් ලබාගත් තොරතුරු වලට අනුව මේ උත්සාහය පිටුපස සිටින්නේ නාගල රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේ නමක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙකි.

ආණ්ඩුවේ ඉහළ පෙළේ සම්බන්ධකම් ඇති මේ භික්ෂූන් වහන්සේගේ සමීපතමයන් පිරිසක් සහ අදාළ නියෝජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරකු මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුවේ අදාළ කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා සහ පොල්පිතිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ද මේ උත්සාහය සාර්ථක කර දීමට ඉදිරිපත් වී සිටිති.

ඇමතිගේ ඥාතියෙක්ට චෝදනා :


වනජීවියේ අදාළ සහකාර අධ්‍යක්ෂවරයා වර්තමාන වන සම්පත් ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ ඥාතියකු බව සඳහන් කරන විශ්වාස කටයුතු ආරංචි මාර්ග, ඔහු ඒ ඥාතිත්වය භාවිත කරමින් වනජීවී අපරාධ සිදු කරන බවට පරිසර සංවිධාන මගින් ද අවස්ථා කිහිපයකදී චෝදනා කර තිබූ බව ද මතක් කර සිටී.

සැකකරුවකුවන හේරත්ගම ග්‍රාම නිළධාරියා

මීට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව මාධ්‍ය ඔස්සේ පැවසුණද, මේ වනවිටත් ඊට අදාළ පරීක්ෂණ පවත්වනු ලබන්නේ අඹන්පොල පොලිසිය මගිනි.

පානදුර, වලාන දූෂණ මර්දන ඒකකය මගින් මීට සෘජු සම්බන්ධයක් ඇති බවට සැකපිට ඇත් දළ විකිණීමට උත්සාහ දැරීමේදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් පොල්පිතිගම පොලිසියට භාරදීමෙන් පසු විධිමත් ප්‍රශ්න කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කළ බව පොල්පිතිගම පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්පසු අඹන්පොල පොලිසිය මගින් මොරගොල්ලාගම ප්‍රදේශයේ දඩයමේ යන පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන අදාළ හස්තියා මරාදැමීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන්ගේ නිවෙස් වල තිබූ යකඩ කපන කියතක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් කරන විශ්වාස කටයුතු ආරංචි මාර්ග, ඔවුන්ගෙන් මීට අදාළව බලහතකාරයෙන් කට උත්තර ලබාගැනීමට පොලිසිය ප්‍රබල උත්සාහයක් දරා ඇති බව ද අනාවරණය කර සිටී.

භික්ෂුවක් හා ඇමතියෙක් හවුල් !

මේ අතර අදාළ භික්ෂූන් වහන්සේට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට සම්බන්ධකම් ඇති සැකකරුවන් පොලිසියට පවසා ඇති ආකාරයට හස්තියා මරා දමා සිටියදී තමන්ට දැකගන්නට ලැබුණු බවත්, මරා දමා තිබූ හස්තියාගේ දළ කැපූ බවත් තහවුරු කිරීමට අදාළ සාක්ෂි නිර්මාණය කිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වේ.

මේ සදහා වයඹ පළාතේ ඉහළ පොලිස් නිලධාරියකුගේ සහයෝගය ලබාගැනීමට ද මේ වනවිට අදාළ කුමන්ත්‍රණකාරීන් උත්සාහ දරමින් සිටින බව හෙළි වේ.

මේ අනුව කොටදෙනියාවේ සේයා සිදුවීමේදී මෙන්ම කහවත්තේ මිනීමැරුම් වලට අදාළව පොලිසිය කටයුතු කළාක් මෙන් තවත් කොණ්ඩයන් පිරිසක් අත්අඩංගුවට ගෙන, ඒ හරහා මේ අපරාධය කළ සැබෑ අපරාධකරුවන් නිදහස් කිරීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වන බවට බරපතල සැකයක් මතු වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget