නව වසරේ නයිට්වරු

නව වසරේ නයිට්වරු

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර ඇති නයිට් පදවි ලැබූවන්ගේ නාම ලේඛනයේ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම් ඔවුන්ගෙන් 70%ක්ම ස්වෙච්ඡාවෙන් හෝ මුදල් ලබමින්, සිය ප්‍රජාවන් වෙනුවෙන් මෙහෙයක් කළ අය වීමයි.

ගායක සහ ගීත රචක ශ්‍රීමත් බැරී හට එම ගරු පදවිය පිරිනමා තිබුණේ සංගීතය සහ පුණ්‍ය කටයුතු සඳහා කළ මෙහෙය වෙනුවෙනි. 60 දශකයේ ජනප්‍රිය සංගීතවේදියෙක් බවට පත්වූ ඔහුගේ වෘත්තියේ මුදුන් මල්කඩ සටහන් වූයේ 1977 වසරේ ලෝකයේ අලෙවි වාර්තා තැබූ ‘සැටඩේ නයිට් ෆීවර්’ ගීතයෙනි. රිංගෝ ස්ටාර් ට ද සංගීතය වෙනුවෙන් කළ මෙහෙය සඳහා නයිට් පදවිය පිරිනැමිණි. එහෙත් ඒ ඔහුගේ සැබෑ නාමය වන රිචඩ් ස්ටාකි නාමය යටතේ ය. බීට්ල්ස් සාමාජික රිංගෝ ස්ටා මෙසේ නයිට් පදවියෙන් පිදුම් ලබන්නේ බීට්ල්ස් නායක පෝල් මැකාට්නි නයිට් පදවියෙන් පුද ලබා හරියටම වසර 20කට පසුව වීම ද විශේෂත්වයකි. ඇතැම් විචාරකයන් පවසන්නේ රිංගෝ ස්ටා හට නයිට් පදවිය ලැබීම, මෙයට බොහෝ කලකට පෙර සිදුවන්නට තිබූ දෙයක් බවයි.
බීබීසී ‘ස්ට්‍රික්’ රියැලිටි නර්තන තරගයේ විනිශ්චයකාරියක වන සහ ප්‍රතිභා පූර්ණ බැලරිනා නෘත්‍ය ශිල්පිනියක් වන ඩාසි බසෙල් ද මේ ගෞරවයෙන් පිදුම් ලැබුවාය.

බ්‍රිතාන්‍ය වෝග් සඟරාවේ 25 වසරක සේවයෙන් පසු විශ්‍රාම ගත් සංස්කාරකවරිය, ඇලෙක්සැන්ඩ්‍රා ෂූල්මන් ද මේ ලැයිස්තුවේ සිටියි.

මෙයට වසර 26කට පෙර සෝවියට් සංගමයට අයත් මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කළ පළමු බ්‍රිතාන්‍ය ගගනගාමිනිය බවට පත්වූ හෙලන් ෂාමන් නයිට් පදවියෙන් පිදුම් ලැබුවේ 1993 වසරේදී ය. මෙවර ලැයිස්තුවේදී ඇයට එයටම නොදෙවෙනි ගෞරවයක් ලබා දී තිබේ. ඒ, තාක්ෂණය සහ විද්‍යාව වෙනුවෙන් ඇය කළ මෙහෙය වෙනුවෙනි. අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් සිදුකළ කැසිනි අජටාකාශ මෙහෙයුම සඳහා ලන්ඩන් තාරකා විද්‍යා මහාචාර්ය මයිකල් ඩොරති ද නයිට් පදවියකින් පිදුම් ලැබුවේය.

ඉන්දියාවට එරෙහිව 2017 ජූලි මාසයේ ලෝඩ්ස් පිටියේදී ලද ලෝක ක්‍රිකට් කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හෙදර් නයිට්, ඇගේ නමටම සරිලන පරිදි නයිට් නාමයකින් පිදුම් ලැබුවාය.

ලිබරල් ඩිමොක්‍රටික් නායක නික් ක්ලෙග් නයිට් පදවියකින් පිදුම් ලැබීම මේ වසරේ බොහෝ කතා බහට තුඩු දුන් සිද්ධියකි. මහ මැතිවරණයෙන් සිය ආසනය වූ ෂෙෆීල්ඩ් හාලම් පරාජය වී සිටියදීත් නික් ක්ලෙග් මෙසේ නයිට් නාමයට පත් කිරීම, ලිබරල් ඩිමොක්‍රටික් මතවාදයන්ට ලෝක දේශපාලනයේ ඇති පිළිගැනීම විදහා දක්වන්නකි. ඔහුට එම ගෞරවය පිරිනැමීමට හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ දේශපාලනික සහ මහජන සේවාවන් හි කැපී පෙනෙන අයුරින් නිරත වීමයි.

මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වන ක්‍රේයිග් මැක් ද මෙහිදී නයිට් පදවියකින් පිදුම් ලැබීය. පසුගිය මාර්තු මාසයේ ලන්ඩනයේ වෙස්මිනිස්ටර් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඔහු විසින් ඉටු කර තිබීම එයට හේතුවයි. ඒ වන විට ඔහු මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ බලන ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

උතුරු අයර්ලන්තයේ ප්‍රජාවන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කැපවී වැඩ කරන ඩේවිඩ් කැනින්, කාන්තාවන් සහ දරුවන් ලියාපදිංචි නොකළ විවාහ තුළ මුහුණ දෙන ගැටළුවලින් ආරක්ෂා කිරීමට කැප වී ක්‍රියා කළ අයිනා ඛාන් ද නයිට් නාමයෙන් පුද ලැබූහ.

-අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment