විපක්ෂයේ කාර්යභාරය කරන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ එපා - බන්දුල

විපක්ෂයේ කාර්යභාරය කරන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ එපා - බන්දුල
පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු පක්ෂයකට රජයක් පිහිටුවා ගත නොහැකි වූ බැවින් කොටසකට ආණ්ඩුව හා එක්වන ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන් බවත් අනෙක් කොටස විපක්ෂයේ භුමිකාව ඉටු කරන බවත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්තධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මන්ත්‍රීවරයා මේ බව කීවේය.
 
ආණ්ඩුවට එක් නොවුණු පිරිස විපක්ෂය නියෝජනය කරනවා නම් ඔවුන් විපක්ෂයේ කාර්යය ඉටු කළ යුතු යැයි කී මන්ත්‍රීවරයා, 
එක්සත් ජාතික පක්ෂ විරෝධී විපක්ෂයක් වන අපට ඔවුන් සමග සමුළු, සම්මේලන ආදියට සහභාගී වෙන්න බැහැ. එක්සත් ජාතික පක්ෂ විරෝධී ජන සටන මෙහෙයවීම සදහා ඒකාබද්ධ විපක්ෂය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දැක්වීම පමණයි අපට කළ හැක්කේ. ඔවුන්ගේ සම්මේලනවලට සහභාගී නොවන නිසා අපට එළියට දමනවා නම් එය සාධාරණ නැහැ.
 
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලක්ෂ 58ක් ඡන්දය දුන් ජනතාව හා පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 47ක් ඡන්දය දුන් ජනතාව අතරමං කොට ආණ්ඩු විරෝධී පාර්ශවයක් නියෝජනය කරන්න අපට හැකියාවක් නැහැ. 
 
ගමට වැඩක් කරන, ගම හදන අයෙකු පත් කර ගැනීම සදහා මෙවර පළාත් පාලන මැතිවරණය පවත්වන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පැවසුවත් අප මේ මැතිවරණය දකින්නේ ආණ්ඩුවේ ගමන් මග තීරණය කරන ජනමත විචාරණයක් ලෙසයි.  වසර තුනක කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය සිදුකළ පාලනය පිළිබද මහජනයාගේ සැබෑ අදහස මෙවර මැතිවරණයේදී අවබෝධ කර ගත හැකියි.
 
රටට අහිතකර එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවෙල පරාජයට පත් කිරීම සදහා පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීම සුදුසු බවයි මගේ හැගීම. රට නොබෙදන, ජනවර්ග අතර ගැටුම් ඇති නොවන, පළල් ජාතික සමගියකින් යුතු එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු පෙරමුණක් නිර්මාණය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
නුවර නදීක දයා බණ්ඩාර
 
bandula
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment