අපට ඕනෑ මතුගම කුමක් ද? මේ ඡන්දෙදි අප කරන වැඩේ මෙන්න

අපට ඕනෑ මතුගම කුමක් ද? මේ ඡන්දෙදි අප කරන වැඩේ මෙන්න
අඹගමුව ප්‍රාදේශීය සභාවට අමතරව නෝර්වුඩ් සහ මස්‌කෙළිය ලෙස නව ප්‍රාදේශීය සභා 2 ක්‌ ද, නුවරඑළිය ප්‍රාදේශීය සභාවට අමතරව ආගරපතන සහ කොටගල නව ප්‍රාදේශීය සභා 02 ක්‌ ද. පොලොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය සභාව වෙනුවට පොලොන්නරුව මහ නගර සභාවක්‌ සහ පොලොන්නරුව ප්‍රාදේශීය සභාවක්‌ ස්‌ථාපිත කර තිබේ.
 
නව ගැසට්‌ නිවේදනයට අනුව පළාත් පාලන සභික සංඛ්‍යාව 4486 සිට 8356 ක්‌ දක්‌වා 3870 ක වැඩිවීමක්‌ සිදු වී ඇත. (උපුටා ගැනීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
 
පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ සංශෝධනයත් සමග වැඩිවන මන්ත්‍රීවරු ගණන 3000කින් වැඩි වේ. මන්ත්‍රීවරයකුගේ මාසික වැටුප රු.15,000ක් වන නිසා මේ ඡන්දයෙන් පසුව මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රු. කෝටි 54ක් පසුගිය වර්ෂවලට සාපේක්ෂව "වැඩිපුර" වෙන් කිරීමට සිදුවන බව චතුර වැල්ලගේ විසින් පෙන්වා දී තිබිණි.
 
15000 X 12 X 3000 = ලක්ෂ 5400 
 
පළාත් පාලන ආයතනවල කොට්ඨාස සංඛ්‍යාවට වඩා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීමට ඉවහල් වූ ප්‍රධාන හේතු දෙක වන්නේ අනිවාර්ය 25% කාන්තා නියෝජනය තහවුරු කිරීමට සහ කුඩා පක්ෂවලට සමානුපාතික නියෝජනයක් තහවුරු කර දීමයි. 
 
පළාත් පාලන ආයතන මන්ත්‍රීන් යනු ඇත්තෙන් ම බිම් මට්ටමේ දේශපාලන නායකත්වයයි. මේ වන විට ප්‍රධාන පක්ෂ මෙන් ම කුඩා පක්ෂ ද බිම් මට්ටම අමතක කර කොළඹ සිට මාධ්‍ය හරහා දේශපාලනය කිරීමට පෙළඹී සිටියි. මෙය හොඳින් දකින්නට ලැබුණු අවස්ථාවක් වන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සැකසීමයි. බොහෝ පක්ෂවලට නාම යෝජනා ලබා දීම සඳහා ගමේ නායකයන් සිටියේ නැත. 
 
පළාත් පාලන මන්ත්‍රීවරයකුට ගෙවන වැටුප උපාධිධාරියකුට ගෙවන වැටුපෙන් භාගයකටත් අඩු ය. මහින්ද රාජපක්ෂ සමයේ තේරුමක් නැතුව රජයේ සේවයට බඳවාගෙන නිකම් ගෙදර ඉන්න ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාලවල වැඩක් නැතුව දවස ගත කරන නිලධාරීන්ට සාපේක්ෂව පළාත් පාලන මන්ත්‍රීවරුන් කියන්නෙ ප්‍රජා නායකයන් පිරිසකි. ඔවුන් අඩු ගානේ මළ ගෙදරකට, ශ්‍රමදානෙකට හරි උදව් කරනු ඇත. ඔවුන් වෙනුවෙන් වියදම් කිරීම බිම් මට්ටමේ නායකත්වය ගොඩනගන්නට වැදගත් දෙයකි. අනෙක් පැත්තෙන් නියෝජිතයන් සංඛ්‍යාව හා විවිධත්වය වැඩි කිරීමෙන් දූෂණයට ඇති අවස්ථාව සීමිත වනු ඇත.
 
පුරවැසියන් ලෙස මෙම තත්වය දෙස සුබවාදීව බැලිය යුතු යයි අපි සිතමු. පළාත් පාලන ඡන්දයේදී හා ඉන් පසුව කුමක් කළ යුතු ද යන්න පිළිබඳ පුරවැසියන් ලෙස අප ගැඹුරින් සිතිය යුතු ය. 
 
පක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන් හැම කෙනෙකු ම නියම නායකයන් නො වන බව අපි දනිමු. අප ඒ සඳහා ඉදිරිපත් නො වන්නේ නම් ඔවුන් නායකයන් ලෙස ගොඩනගා ගැනීම කෙසේ කළ යුතු ද යන්න අප සිතිය යුතු ය. අනෙක් පැත්තෙන්, පුරවැසි නායකත්වයන් ද ගොඩනගන ගමන් දේශපාලන නායකත්වය හා සම්බන්ධව වැඩ කරන්නේ කෙසේ ද යන්න ගැන ද සිතිය යුතු ය.
 
මේ කාරණා කෙරෙහි අවධානය යොමු කර, මතුගම මැතිවරණ කොට්ඨාසයේ හා හැකි නම් ඒ ආසන්න වෙනත් මැතිවරණ කොට්ඨාසවල පළාත් පාලන ආයතනවල නායකත්වයෙන් ප්‍රාදේශීය සංවර්ධනය හා මහජන ජීවන ගුණය වැඩි දියුණු කිරීම සඳහා රජය විසින් කළ යුතුව තිබෙන කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීමටත්, ඒ කටයුතු පිළිබඳ අපේක්ෂකයන් හා මහජනතාව දැනුවත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙමු. ඒ සම්බන්ධයෙන් අනාගත ප්‍රාදේශීය සභාවකට හා දේශපාලන නායකත්වයට ස්වේච්ඡාවෙන් උපකාර කිරීමට ද පුරවැසි කණ්ඩායමක් ලෙස අප සූදානම් ය. 
 
ඒ වෙනුවෙන්, අපට ඕනෑ මතුගම කුමක් ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීමට අප කැමති ය. කරුණාකර ඔබගේ සහයෝගය දෙන්න.
 
ඒ වෙනුවෙන් මාස තුනක කාලයක් වැඩ කිරීමට කැමති තරුණයකුට හෝ තරුණියකට පුහුණු අවස්ථාවක් ද තිබේ. (සාධාරණ දීමනාවක් ද කරනු ලැබේ.) 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment