ලංගමයට විදුලි බස් රථ 50 ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය.


පහසුකම් සහිත, විශ්වාසදායී හා කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙකු විසින් තම එදිනෙදා ගමන් බිමන් සඳහා පෞද්ගලික වාහන භාවිත කරනු ලබන අතර, ඒ හේතුවෙන් නාගරික මාර්ගවල අධික වාහන තදබදයක් හා වාතය අපිරිසිදු වීමක් දක්නට ලැබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම) සතුව ධාවනය කළ හැකි තත්ත්වයේ බස්රථ 6,300ක් ඇති අතර, ඉන් බස්රථ 2,467ක් වසර 10කට වඩා පැරණි වේ. එම පැරණි බස්රථ නිතර ආපදාවට ලක්වීම හේතුවෙන් මහජනතාවට විශ්වාසදායී හා කාර්යක්ෂම බස්රථ සේවාවක් සැපයීමේදී බාධා එල්ල වේ. එමෙන්ම, කාලසටහන් අවශ්‍යතා අනුව යෙදවීම සඳහා එම මණ්ඩලයට අවශ්‍ය මුළු බස්රථ සංඛ්‍යාව 7,257ක් වේ. තවද, ශ්‍රී ලං.ග.ම. බස්රථ ඇණිය 100%ක්ම ඩීසල් බස්රථවලින් සමන්විත වන බැවින් එය වායු දූෂණයට ද හේතු කාරකයක් වේ.

එබැවින්, වයෝවෘද්ධ හා ආබාධිත මගී ජනයාටද පහසුවෙන් භාවිත කළ හැකි, පරිසර හිතකාමී, ශීඝ්‍ර බස්රථ ප්‍රවාහන සේවයක් (Bus Rapid Transit System) කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීමටත්, මේ සඳහා වායු සමීකරණය කරන ලද, පතුල පහත් විදුලි බස්රථ 50ක් ශ්‍රී ලං.ග.ම. වෙත මිල දී ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment