'රවී වැරදිකරුදැයි හොයන්න මාරපන පත්කිරීම විහිළුවක්' - ජවිපෙ.


අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මහ බැංකු කොල්ලයට රවී කරුණානායක සම්බන්ධ දැයි පරීක්‍ෂණ කරන්න ඇවන්ගාඩ් වංචාවට චූදිතයෙක් වී ඇමතිකමිනුත් ඉල්ලා අස්වීමට සිදුවුණු තිලක් මාරපන පත්කිරීම සැබෑම විහිළුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත හි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හඳුන්නෙත්ති මහතා මෙසේ කියා සිටියේය.

''රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බැඳුම්කර වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළා. රටේ ජනතාව බලාගෙන හිටියා, බරසාර ප්‍රකාශයක් කරයි කියලා.

වාර්තාවේ සඳහන් වෙලා තිබෙන රනිල් වික්‍රමසිංහ ගැන, අර්ජුන මහේන්ද්‍රන් ගැන, අර්ජුන ඇලෝසියස් ගැන විශේෂ ප්‍රකාශයක් කරයි කියලා.

අගමැතිවරයාගේ කතාවට අනුව ඔහු වරදක් කරලා නැහැලු. එජාපයේ කවුරු හරි වැරදි කරලා තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බලන්න තිලක් මාරපන කමිටුව පත්කරනවාලු.

අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මහ බැංකු කොල්ලය ගැන හොයන ඒකට රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක සම්බන්ධද කියලා පරීක්‍ෂණ කරන්න ඇවන්ගාඩ් වංචාවට චූදිතයෙක් වෙලා ඇමතිකමිනුත් ඉල්ලා අස්වෙන්න සිදුවුණු තිලක් මාරපන පත් කරනවාද?

''අද වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලාට වෙච්ච දේට හපන් දෙයක්''

මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා 34න් එකක ඇවන්ගාඩ් හොරකම ගැන තියෙනවා.

ඒ වාර්තාව බැලුවොත් තිලක් මාරපනගේ වාර්තාව හොයාගන්න පුළුවන්. ඒ නිසා තිලක් මාරපන කමිටුව, පිටිපන කමිටුවට හපන් එකක් වෙනවා.

තිලක් මාරපනට මන්ත්‍රීකම ජාතික ලැයිස්තුවෙන් දුන්නේ රනිල් වික්‍රමසිංහයි. ඔහුට ඇමතිකම දුන්නේ රනිල් වික්‍රමසිංහයි.

එසේ තිබියදී රනිල් වැරදිද කියලා හොයන්න මාරපන පත්කරනවා.

අනෙක් පැත්තෙන් අර්ජුන ඇලෝසියස්ගේ නීතිඥයා තිලක් මාරපනගේ සහෝදරයායි. අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් අතර ලබැඳියාවන් අතර ගැටලුව හොයන්න පත්කරන තිලක් මාරපනගේ සහෝදරයා ඇලෝසියස්ගේ නීතිඥයායි.

ඒ නිසා අද රනිල් වික්‍රමසිංහලාට වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලාට වෙච්ච දේට හපන් දෙයක්.

බැඳුම්කරේ කැත රනිල් වික්‍රමසිංහ මුළු පක්ෂයේම ගාලා ඉවරයි.

රනිල් වික්‍රමසිංහ එජාප පාක්‍ෂිකයින්ටත් කරලා තියෙන්නේ බරපතළ අපහාසයක්.

රනිල් වික්‍රමසිංහ මොනවා කියලා බේරෙන්න හැදුවත් ඔහුත් ඔහුගේ ගෝල බාලයින් ටිකත් මේ ගනුදෙනුවට සම්බන්ධ බව හෙළිදරව් වෙලා ඉවරයි.''

“මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම බරපතළ ප්‍රශ්නයක් කියලා. මූල්‍ය නීති පනතේ 12.1 වගන්තියට අනුව මහ බැංකු අධිපතිවරයා පත්කළ යුත්තේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයායි.

නමුත් මෙම පත්කිරීම කොමිසම ප්‍රශ්න කර තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයේදී කියා සිටියේ පත්කිරීම විධිමත් කියලයි.

නමුත් ඇත්ත කාරණාව මෙම විධිමත් පත් කිරීම කොමිසමෙන් ප්‍රශ්න කර තිබීමයි.

''මහේන්ද්‍රන් මහතා වඩාත්ම සුදුසු පුද්ගලයා බවට මුදල් ඇමති එකඟ වුණා''

වාර්තාවට අනුව මහේන්ද්‍රන් මහතා එවකට මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත සහ හෝ මහ බැංකුව භාර ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයා වශයෙන් අගමැතිවරයාගේ නිර්දේශ මත පත්කරන ලද්දේ දැයි කොමිසම විමසන ලදී.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

”2015 ජනවාරියේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මහ බැංකුවේ අධිපති ධුරය සඳහා මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු බවට ආණ්ඩුව තුළ පොදු එකඟතාවයක් තිබුණා. මම මේ යෝජනාව මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡා කළා.

ඔහු මහේන්ද්‍රන් මහතා වඩාත්ම සුදුසු පුද්ගලයා බවට එකඟ වුණා. ඒ අනුව මගේ එකඟතාවය සහිතව මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයාට මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු යැයි නිර්දේශ කළා. ඒ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කළා.” කියලා අගමැතිවරයා පිළිතුරු දෙනවා.

ඒ අනුව පත්කිරීම කළේ ජනාධිපතිවරයා විසින්. එම පත්කිරීම නීතිය ඉදිරියේ ප්‍රශ්නයක් නොවුණත් ඒක වැදගත් තීන්දුවක්දැයි කොමිසම ප්‍රශ්න කරනවා.

නමුත් ජනාධිපතිවරයා කිව්වේ විධිමත් පත්කිරීමක් කියලා.

පුරවැසියෙකු නොවන අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමට තීරණය ගත්තවුන් පිළිබඳව කොමිසම විමතිය පළකරලා තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට ජනාධිපතිවරයා අත්සන් තැබීමෙන් ඔහු ඒ පිළිඳ වගකීම මුළුමනින්ම ගන්නවා. ඒ කියන්නේ ඔපරේෂන් i තවමත් ඉවර නැහැ. ''

බැඳුම්කරය අහන්න විශේෂ අධිකරණයක් !

''නඩු ඇසීම අවීචි මහනරකාදියට භාර නොදී තමන් සතු බලතල යටතේ සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා''

බැඳුම්කර සිද්ධියට අදාළ චූදිතයින්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සිදුකරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි යැයි මෙම මාධ්‍ය හමුවේදී පැවසු සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා, ඒ සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්නැයි රජයෙන් ඉල්ලා සිටියේය.

තමන් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මීට අවුරුද්දයි මාස තුනකට පෙර එනම් 2016 ඔක්තෝබර් 31 දා බැඳුම්කර පරික්ෂණ වාර්තාව යවමින් නඩු පැවරීම පිළිබඳ උපදෙස් පැතූ නමුත් මේ වනතුරුත් ඒ පිළිබඳ කිසිවක් සිදු නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ නිසා විශේෂ අධිකරණයක් ඔස්සේ බැඳුම්කර ගනුදෙනුව හා බරපතල දුෂණ වංචා පිළිබඳ කොමිසමෙන් හෙළිවූ වංචා පිළිබඳ නඩු විභාග කළ යුතු යැයි රජයට යෝජනා කරන බව ද හඳුන්නෙත්ති මහතා කීය.

අවීචි මහනරකාදි යැවීමට පෙර !

නඩු ඇසීම අවීචි මහනරකාදියට භාර නොදී තමන් සතු බලතල යටතේ සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තුව රැස්වී ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළ යුතු බවත් පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සභාපතිවරයා පැවැසීය.

ඔහු එබව සඳහන් කලේ, ජනාධිපතිවරයා ඊයේ (18) පස්වරුවේ කොස්ගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් කල ප්‍රකාශය ප්‍රතිචාරයක් ලෙසය.


තමන් ජනාධිපති ධුරය අතහරින්නේ මෙරට දුෂිත දේශපාලඥයන් සියළු දෙනා හිරේ දමා මෙරට පිරිසිදු පාලනයක් ඇති කර තක්කඩි රැල හිරගෙදරට දමා හිරගෙදර කාමරයේ පොලවෙ පලාගෙන අවීචි මහා නරකාදියට ඇදගෙන ගිය දාට පසු දිනයේ බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබිණ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment