“න්‍යෂ්ටික බොත්තම මගෙ මේසෙ උඩ!”- නව අවුරුුද කතාවේදී කිම් ජොන් උන්ගෙන් මාරක තර්ජනයක්

“න්‍යෂ්ටික බොත්තම මගෙ මේසෙ උඩ!”- නව අවුරුුද කතාවේදී කිම් ජොන් උන්ගෙන් මාරක තර්ජනයක්

“මුළු ඇමරිකා එක්සත් ජනපදයම තිබෙන්නේ අපට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළ හැකි සීමාව තුළයි. න්‍යෂ්ටික බොත්තම මගෙ කාර්යාලයේ මගෙ මේසය උඩ හැම විටම සූදානමින් තිබෙනවා. මේක තර්ජනයක් නෙවෙයි යථාර්ථයක් කියා ඔවුන් නිවැරදිව අවබෝධ කර ගත යුතුයි’‘ කිම් ජොන් උන් එසේ පැවසුවේ නව අවුරුදු දිනයේ ජාතිය අමතමිනි.

උතුරු කොරියාව ‘සාමයට ආදරය කරන, වගකිව යුතු න්‍යෂ්ටික රටක්’ යැයි ද ඔහු කියා සිටියේය. “ආක්‍රමණයක් සිද්ධ නොවෙන තාක් කල් අපට අපේ න්‍යෂ්ටික බලය පාවිච්චි කරන්න උවමනාවක් නැහැ..” යැයි ද ඔහු තවදුරටත් පවසයි.

සීඑන්එන් පුවත්සේවය පවසන්නේ උතුරු කොරියානු නායකයා තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සැරසෙන බවට ඉඟි කරමින්, මිසයිල සහ න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය වේගවත් කරන ලෙසට සිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ය.

මෙම ප්‍රකාශයත් සමග ඇමරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර පවතින ආතතිය පෙර නොවූ විරූ පරිදි ඉහළ ගොස් තිබේ. ධවල මන්දිරයේ ඒකාබද්ධ කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානී මයික් මුලන් පැවසුවේ ඉරිදා දිනයේ, එනම් ඊයේ දිනයේ ඇමරිකාව සහ උතුරු කොරියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානම උපරිමයක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි. එය ඹැත ඉතිහාසයේ පෙර නොවූ විරූ ආතතියක් බවත් ඔහු පෙන්වා දෙයි. කෙසේ නමුත් ලෝකයේ වාසනාවකට ඊයේ දිනයේ එවැන්නක් සිදු වූයේ නැත.

උතුරු කොරියානු රජයේ පුවත් සේවාවක් වන KCNA ඊයේ දිනයේ වාර්තාවක් නිකුත් කරමින් කියා තිබෙන්නේ 2018 වසරෙදී ද වෙනසක් නොමැතිව න්‍යෂ්ටික වැඩසටහන ඒ ආාකාරයෙන්ම පවත්වාගෙන යන්නට සිය දේශය කැප වන බවයි. “එම ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු වේ යැයි අපේක්ෂා නොකරන්න” යැයි ද එහි කියා තිබිණි.

මේ අතර ඒබීසී පුවත්සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මයික් මුලන් පසුගිය සතියේ පවසා තිබුණේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කිම් ජොන් උන් ව ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රකෝපකාරී ප්‍රකාශ හේතුවෙන් න්‍යෂ්ටික යුද්ධයක් වෙත ලෝකය ඇදී යාමේ අවදානම පෙර නොවූ විරූ පරිදි මේ වන විට ඉහළ ගොස් ඇති බව ය.

උතුරු කොරියාව විසින් පසුගිය නොවැම්බර් 29 වැනිදා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පසුගිය සතියේ ඒකමතිකව උතුරු කොරියාවට නව සම්බාධක පැනවීය. මේ අනුව එහි බලශක්ති සැපයුම් තවදුරටත් සීමා කිරීමටත්, නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් පනවා තිබෙන රෙගුලාසි තවත් දැඩි කිරීමටත් උතුරු කොරියානු කම්කරුවන්ට විදේශයන් හි තිබෙන රැකියා අවස්ථා තවදුරටත් සීමා කිරීමටත් පියවර ගන්නා ලදී.

මේ සමගම දකුණු කොරියාවේ රඳවා තබා සිටින ඇමරිකානු සොල්දාදුවන් වැඩි වශයෙන් යුධ අභ්‍යාසවල නිරතව සිටින ආකාරය ද දැකගත හැකිය. ඔවුන් සූදානම් ශරීරයෙන් පසුවන්නේ උතුරු කොරියාවෙන් එල්ල විය හැකි යැයි සිතන න්‍යෂ්ටික අවදානමකදී ක්‍රියා කළ යුත්තේ, ගළවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන්නේ කෙසේදැයි පෙර පුහුණු වීම් කරමිනි. මේ කාරණය ද උතුරු කොරියානු නායකයා තම නව අවුරුදු කතාවේදී දැඩි සේ හෙළා දුටුවේය. “අපේ සතුරා වන ඇමරිකා එක්සත් ජනපදය සමග කරන හමුදා පුහුණුවීම් මේ මොහොතේම නැවැත්විය යුතුයි. මන්ද, මේ හැසිරීමෙන් සිදුවන්නේ මේ ශ්‍රේෂ්ඨ දේශය ගිනි තැබීම සහ විනාශ කිරීම පමණයි..” යනුවෙන් ඔහු එහිදී කියා සිටියේය.

මේ අතර 2018 වසරේ දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිතව තිබෙන ශීත ඔලිම්පික් උළෙල ගැන ද අදහස් දැක්වීමට කිම් ජොන් උන් අමතක නොකළේය. ඔහු කියා සිටියේ තම රටේ ක්‍රීඩකයන් තරගයට යැවීම පිළිබඳ දකුණු කොරියාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම අවස්ථාව ‘උතුරු කොරියාව කොතරම් ශ්‍රේෂ්ඨ ජාතියක්දැයි ලෝකයට පෙන්වීමට හොඳ අවස්ථාවක්’ යැයි ද ඔහු කියා සිටියේය.

මේ අතර අලුත්ම වාර්තාවලට අනුව, උතුරු කොරියාවේ නෞකාවන්ට තෙල් සපයමින් සිටි දෙවන නෞකාවක් ද මේ වන විට දකුණු කොරියාව විසින් පැහැරගෙන තිබේ. KOTI නමැති මෙම තෙල් සැපයුම් නෞකාවේ තිබී ඇත්තේ පැනමා ධජයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවා ඇති සම්බාධක ඉක්මවා යමින් මිතුරන් කණ්ඩායමක් විසින් උතුරු කොරියාව තවදුරටත් පෝෂණය කරන බව දකුණු කොරියාව පෙන්වා දෙයි.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment