බංග්ලාදේශ පුහුණුකාරීත්වයට මහේල - සංගා බෑ කියයි.


එළැඹෙන 15 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ, ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලියට පුහුණුකරුවෙකු නොමැතිව තරග කිරීමට බංග්ලාදේශය තීරණය කර තිබේ. එසේම ඉන්පසු ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ටෙස්ට් සහ විස්සයි විස්ස තරගවලටද තත්ත්වය එයාකාරයෙන්ම පවතිනු ඇත. බංග්ලාදේශ ක්‍රිකට් කමිටු සභාපති නස්මුල් හසන් මේ පිළිබඳ පැවසුවේ, දැනට සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන රිචඩ් හල්සාල් පුහුණුකාර ධුරයේ ප්‍රධානීත්වයට පත්වනු ඇති අතර, කණ්ඩායමේ කළමනාකාර කලීඩ් මහමූද් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයන් වන ශකීබ් අල් හසන් සහ මෂ්රෆී මෝටාසා නිල පුහුණුකරුවෙකු පත්වන තුරු ඒ පිළිබඳ වගකීම් දරනු ඇති බවයි.

පසුගිය නොවැම්බරයේ චන්දික හතුරුසිංහ සිය තනතුරින් ඉවත් වීමෙන් අනතුරුව හිස් වූ පුහුණුකාර නිලයට තවමත් පුහුණුකරුවෙකු සොයමින් පසුවන බව සභාපති හසාන් ප්‍රකාශ කළේය.

මේ වනවිට බංග්ලාදේශ ක්‍රිකට් කමිටුව ඇන්ඩි ෆ්ලවර්, ජස්ටින් ලැන්ගර්, ටොම් මූඩි, මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් හතුරුසිංහගෙන් හිස් වූ තනතුරට ගැළපෙන අපේක්ෂකයන් ලෙස දන්වා සිටියත් ඔවුන් එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ.

පුහුණුකාර පිරිසේ සහායක තනතුරු සියල්ල ඒ අයුරින්ම පැවතුනද හල්සාල් විසින් දැනට සියලුම පැති පිළිබඳ අධීක්ෂණය සිදු කරනු ඇති බව සභාපති හසාන් පැවසීය.

එතෙක් මෙම තත්ත්වය සමග කණ්ඩායමේ වගකීම වැඩි වශයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සතු වනු ඇති අතර, තමන් ඔවුන් මෙම අභියෝගය ජයගැනීම සම්බන්ධව විශ්වාසය තබන බවද සභාපති හසාන් වැඩිදුරටත් පැවසීය. 

(ක්‍රික්ඉන්ෆෝ සහ ඩේලිස්ටාර් ඇසුරෙනි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment